Sunday, February 17, 2013

වන නිවහන (ෆිෂින් හට්ස්) | Fishing huts - Sripada via Rajamale


වන නිවහන 

        කඳුකර වැසිවනාන්තරයෙන්  පෝෂණය වන වනනදිය, ඇතැම් විට ගල්පර අතරින් රැළිති නංවමින්ද තරමක් ගැඹුරු තැන්වල ඉතා නිහඬවද ගලාබසී.හිරුරැස් ගඟ මත පතිතව, එහි දිය රැළිති වල සෙවනැලි ගං පතුලේ ඇති තැඹිලි පැහැති ගල්කැට මත සියුම් වූත් සුන්දර වූත් රටාවන් මවාලයි.සුළඟ එතරම් රළු නොවුනද,තුරුමත ඉදුණු, කහ පැහැති පත්‍රයක් දෙකක් නදිය මත පතිත කරවන්ට තරම් එය පොහොසත්ය.

         ඉහත කී වන නදිය අසබඩ දැවයෙන් කල කුඩා නිවසකි.මෙය වූ කලී වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම වන නිවහනකි.බිත්ති, වහලය සහ  කවුළු පමණක් නොව එහි වූ සෑම කුඩා අංගයක්ම සාදා ඇත්තේ අවට වනයෙන් සපයාගෙන ඇති ලී දඬු එකට පිරිද්දීමෙනි.නේකවර්ණවූ කුරුල්ලන්ගේ නාදයත් දිය රැලි නගන හඬත් හැර වෙනත් කිසිදු ශබ්දයක් මෙහි සිටින්නන්ට නෑසෙනු ඇත.මෙහි එක් පසකින් බැලුවිට පෙනෙන්නේ නිල අහස තෙක් පැතිරුණු ලාකොළ පැහැයෙන් දිදුලන මරේ තේ වතුයායයි.ඊට සැතපුම් කීපයක් එපිටින් සුදු පැහැති වලාවන් සිපගනිමින් වැජබෙන  සිරිපා කඳු මුදුන දැකගත හැකිය.අනෙක් පසින් ඇත්තේ සුන්දර බත්තුළු ඔයත් ඉන් එපිට අක්කර දහස් ගණනක් පැතිර ඇති සමනල කන්ද වැසිවනාන්තරයත්ය.
හිරුරැස් ගඟ මත පතිතව, එහි දිය රැළිති වල සෙවනැලි ගං පතුලේ ඇති තැඹිලි පැහැති ගල්කැට මත සියුම් වූත් සුන්දර වූත් රටාවන් මවාලයි 

ශ්‍රී පාදය 

      උණුසුම් හිරුරැස් ඇති දිනයක මම, වන නිවහන පිහිටි ඉවුරේ සිට අනෙක් ඉවුර දක්වා පිහිනා ගියෙමි...නදිය හරහා යාම එතරම් අපහසු කටයුත්තක් නොවේ.නමුත් මෙහි ජලය කෙතරම් පැහැදිලිද කිවහොත් අඩි යක් විස්සක් තරම් ගැඹුරු තැන් වුවද අපට පෙනුනේ අඩි කිහිපයක් පමණක් ගැඹුරු ස්ථාන ලෙසිනි...ගං දිය තරමක් සීතල නිසා පළමු දිනයේදී අපට වැඩි වේලාවක් දිය නෑම සිදුකල නොහැකි විය...සීතල මගහරින්නට වන නිවහනින් ලැබුණු උණුසුම් දිවා ආහාරය නම් ප්‍රනීතය....


උණුසුම් හිරුරැස් ඇති දිනයක මම, වන නිවහන පිහිටි ඉවුරේ සිට අනෙක් ඉවුර දක්වා පිහිනා ගියෙමි.

      දිවා ආහාරයෙන් පසු මගේ මිත්‍රයින්  සූදානම් වූයේ තවත් වික්‍රමයකටය. එනම් වන මැද සැඟවුණු බත්තුළු ඔයේ දිය ඇල්ලක් සොයා යාමටය..මේ සඳහා ගඟ දියේ ඉහත්තාවට පැය එකහමාරක් පමණ ගමන් කල යුතුය....ගඟ දිගේ ගමන ඉතා දුෂ්කර කටයුත්තකි...එක්ව සැදුනු ලොකු කුඩා ගස් වැල් නිසා අපට වනය හරහා ගමන් කල නොහැකි බැවින් එකම විකල්පය වූයේ ගඟ මත වූ ගල් කුළු මතින් ඉදිරියට යාමයි...නොගැඹුරු තැන් වලදී  ගඟ මැදින් ගමන් කල අපි ඇතැම් ස්ථාන වලදී ගංඉවුරේ ගල් කුළු මතින් ඇවිද ගියෙමු...ඉවුර මත වූ ගල්කුළු බොහොමයක් පාසි බැඳීම නිසා ඉතා ලිස්සන සුළුය.කැමරාවක්ද රැගෙන ගමන් කල නිසා මගේ ගමන සිදු වූයේ අන් අයට වඩා සෙමිනි...වරක් පාසි බැඳුනු ගලක් මතුපිටින් යන විට පය ලිස්සීමෙන් මගේ සමබරතාවය ගිලිහී ගිය අතර කැමරාව පසකට විසිවී ගියේය...ගල දිගේ ලිස්සා ගොස් මගේ වම් වැලමිට තදින් යමක වැදුන මුත් එකවරම අනෙක් අත අසල වූ ගල් නෙරුවක සිරකර ගැනීමට හැකිවූ නිසා හානිය අවම කර ගැනීමට හැකි විය.
      කුඩා දියඇලි කිහිපයක් හමුවීමෙන් පසු අපි ගඟ දෙකට බෙදෙන ස්ථානයකට ලඟාවීමු.මෙම ස්ථානයට සිරිපා මලුව වඩා පැහැදිලිව පෙනේ..මින් කුඩා දිය පාර සිරිපා කන්ද ඔස්සේ ගලන බවක් පෙනුණු අතර  අප සොයා යන ඇල්ල තරමක් විශාල නිසා, ජල ප්‍රමාණය වැඩි, වම පසින් වූ දියපාර දිගේ ගමන්කිරීමට අපි තීරණය කළෙමු.


ගඟ දිගේ 
        කොතරම් ඉදිරියට ගියද ඇල්ලක සේයාවක්වත් වත් නැත...කරුවල වැටෙන්නටද ආසන්නය.සැබවින්ම අප තෝරාගත්තේ නිවැරදි මාර්ගයද ....? මංසන්දියේදී හමුවූ,සිරිපා කන්ද ඔස්සේ ගලන දියපාර තරමක් කුඩා වුවද ඉන් දිය ඇල්ලක් ඇතිවිය නොහැකිද....? මෙවන් දෑ කල්පනා කරමින් අපි ගඟ දිගේ තවත් වංගුවක් පසු කළෙමු....

     මේවනවිට අප සිටියේ ගංගාවේ දකුණු පසිනි.තවත් කුඩා ඇල්ලක් අපේ නෙතු ගැටේ....එය අපට පෙර හමුවූ දියඇලි වලට වඩා තරමක් විශාල වුවද එහි උස අඩි දහයක් පමණ විය....අසා තිබු විස්තරයට අනුව අප සොයා ආ ඇල්ල මෙය විය නොහැක.....
     චායාරුපයක් ගැනීමට ගඟේ අනෙක් පසට ගිය විට එකවරම අප සොයා පැමිණි දේ පැහැදිලිව පෙනිණි. ...අඩි පනහක් පමණ උස්වූ තරමක් විශාල ප්‍රමාණයේ දියඇල්ල මෙතෙක් වෙලා අපට නොපෙනුනේ ගඟ දෙපස වූ ගල්කුළු නිසාවෙනි....මෙහි නියම නම හෝ නිවැරදි උස හරිහැටි නොදන්නා මුත් එය සුන්දර බවින් නම් අඩුවක් නැත....ගමනේ අපහසුම අංගය වුයේ ඇල්ල පාමුලට යාමයි...යන්තමින් හෝ පය ලිස්සා ගියහොත් නතර වෙන්නේ කුඩා ඇල්ලේ තටාකයෙහිය..අවසානයේ ගංඉවුරට නැමුණු ගස් අතු වල එල්ලී,තරමක අවදානම් ගමනකින්  පසු අපට ඇල්ලේ පාමුලට ළඟාවීමට හැකිවිය.


අවසානයේ ගංඉවුරට නැමුණු ගස් අතු වල එල්ලී,තරමක අවදානම් ගමනකින්  පසු අපට ඇල්ලේ පාමුලට ළඟාවීමට හැකිවිය

        අප නැවත වන නිවහන කරා එනවිට කරුවල වැටී තිබින...තේ වත්තත් යුකැලිප්ටස් වනාන්තරයත් අතරින් සිරිපා මළුවේ ආලෝකයත් එහි ගමන් මාර්ගයත් යන්තමින් පෙනේ.හෙට උදයේම සිරිපා කරුණා කලයුතුය...මෙවර සිරිපා වන්දනාවට අප තෝරාගත්තේ මරේ වතුයායෙන් පටන්ගන්නා රජමලේ මාර්ගයයි.විදුලි ආලෝකය නොමැති බැවින් අප යායුතුව තිබුනේ දහවල් කාලයේදීය...




   වන නිවහනේ රාත්‍රිය නිහඩය..විචිත්‍රය..සීතල නිසා අපි නදිය අසබඩ ගිනිමැලයක් දල්වාගත්තෙමු.නදියේ ගෝෂාව පරයා විවිධ සතුන්ගේ සිහින් නාදයන් එකදිගට ඇසේ.ගංඉවුර අසල දැවයෙන් තනා ඇති අසුනකට බරවූ මම වනය තුලින් ඇසෙන විවිධ ශබ්දයන් හඳුනාගන්නට තැත් කිරීමි..ගමන් වෙහෙසත් නදියේ ගීතයත් නිසා මැදියමට පෙර මට නින්ද යන්නට ඇත.





උදැසනම අපි ගඟේ ස්නානය කළෙමු.කලාතුරකින් දක්නට ලැබෙන කැහිබෙල්ලන් රංචුවක්ද ගල් කුළු මතින් පැනයන වලිකුකුලෙක්ද තවත් නම් නොදන්නා පක්ෂීන්  කිහිපදෙනෙක්ද අපේ ඇසට හසුවිය.උදැසන කාලයට අප මෙන්ම වනාන්තරයද ගඟදියද වඩා ප්‍රබෝධමත් බවකින් යුක්තබැව් මට සිතේ.


දහවල් දහය පමණ වනවිට සිහින් පොද වැස්සක් වැටෙන්නට විය...වැහිබින්දු නදිය මත වැටී ගංපතුලේ දර්ශන අපැහැදිලි විය...වැස්ස පායනතුරු සිටි අපි වන නිවහනට ආයුබෝවන් කියා සිරිපා කරුණා කරන්නට මරේ වත්ත කෙලවරකින් වනාන්තරයට පිවිසීමු...
වැස්සට පසු 



බත්තුළු ඔය 



         රජමලේ මාර්ගය සිරිපා මළුවට ඇති කෙටි මගකි.බොහෝවිට  මළුවට බඩු ගෙනයන්නන් භාවිතා කරන්නේ මේ මාර්ගයයි.නොනැවතී ගමන් කළහොත් පැය දෙක හමාරකින් පමණ මහගිරිදඹට ළඟාවිය හැක...කැලෑ මග අතරදී කූඩැල්ලන් අපට විටින් විට කරදරකලද එය අපේ ගමනට එතරම් බාධාවක් නොවිනි.


 රජමලේ (සඳගල තැන්න) මාර්ගය
      සිරිපා වන්දනාවෙන් පසු රාත්‍රිය සිරිපාමලුව තුල ගතකල අපට උදැසන ඉර සේවය බැලීමට නොහැකි වුයේ අධික මීදුම නිසාවෙනි.උදැසන 7.30 පමණ වනවිටද මීදුම පහව නොගිය හෙයින් මිහිදුමෙන් මතුවී පෙනෙන අඩවිකන්ද,කුණුදිය පර්වතය ඇතුළු අවට කඳුවැටි වල මනස්කාන්ත දර්ශනයන් කිහිපයක් අපට මගහැරිනි.අප උදැසනම නල්ලතන්නි මාර්ගයෙන් පහලට කරුණා කරන්නට පටන්ගත්තේ දහවල් හැටන් වලින් කොළඹ දක්වා යන දුම්රිය අල්ලා ගැනීමේ බලාපොරොත්තුවෙනි.


රජමලේ මාර්ගය අතරමගදී 



අපේ නඩේ




නල්ලතන්නිය-හැටන්මාර්ගයේ මුල්ගම හන්දියේ සිට ෆිෂින් හට්ස් දක්වා ඇති මාර්ගය  කොළ  පැහයෙන්ද මරේ වත්තේ සිට ඇති රජමලේ මාවත රතු  පැහැයෙන්ද දක්වා ඇත.


සටහන :  
  • වන නිවහනේ නැවතීමටනම් 052–4920870 අංකය අමතා මස්කෙළිය වතුයායේ කාර්යාලයෙන්  අවසර ගෙන දින වෙන්කිරීමක් කරගත   යුතුය.
  • දැනට පවතින පහසුකම් අනුව අටදෙනෙකුට නැවතිය හැකි වන නිවහනක්ද හය දෙනෙකුට නැවතිය හැකි නිවහන් දෙකක්ද ෆිෂින් හට්ස් තුල පවතී.
  • ගමන් මාර්ගය - හැටන් > මුල්ගම හන්දිය (නල්ලතන්නිය මාර්ගය)> ෆිෂින් හට්ස් මාර්ගය (මෙහි කිලෝමීටර් 8ක් පමණ ගමන්කලයුතුය.බස්රථ නොමැති වුවත් පොදු ප්‍රවාහනය සිදුකරන වෑන් රථ වල හෝ ත්‍රීරෝද රථ මගින් ෆිෂින් හට්ස් දක්වා ගමන් කල හැක.)

12 comments:

  1. Replies
    1. උදේ සිරීපාදේ උඩ මීදුම තිබ්බේ නැත්තම් අපිට තව ෆොටෝස් ටිකක් ගන්න තිබ්බා....:(

      Delete
  2. හරිම අපූරු පින්තූර ටික. ලස්සනට ලියලත් තියෙනවා. සුබපැතුම් යාලුවා! දිගටම ලියන්න...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට...

      Delete
  3. Wow...great bro!! This is one of the best ever photography blogs that I've ever seen.. :)

    Keep up your work!!

    ReplyDelete
  4. පංකාදු ගමන....ඒරත්න මාර්ගයෙන් එද්දි තියෙන " කුණුදිය " පර්වතය ගැන වැඩි යමක් දන්නවාද ?

    ReplyDelete
    Replies
    1. සිරීපාදෙ උඩමළුවේදි ඔය කියන කුණුදිය පර්වතය පේනව නේද...? අපිත් එක්ක ගිය කෙනෙක් කිව්වා ඔය කියන කන්දේ දේවදත්ත තෙරුන් පාද සටහන තියල තියනව කියල.එක නිසා ඔය කඳු මුදුනෙන් වැටෙන වතුර කුණු වතුර වෙලාලු පහලට එන්නේ....සමහරවිට ඔය කතාව නිකම්ම නිකන් ජනප්‍රවාදයක් වෙන්න පුළුවන්.එක පාරක් අපි එරත්න පාරෙන් සිරීපාදේ නැග්ගා.නමුත් ඔය කන්ද ගැන නම් අහන්න ලැබුනේ නැහැ.කොහොම වෙතත් මේක නගින්න පාරක් මම හරියට දන්නේ නැහැ. (මම දැක්ක ඔයාමද කොහෙද තවත් බ්ලොග් එකක මේක ගැන අහල තිබ්බ)...ඔයවගේ පාලුවට ගිය කඳු නගින්න නියමිත පාරවල් නැහැ...පාරක් හදාගෙන තමා යන්න වෙන්නේ...අනික් කාරණේ සමනල අඩවියේ හිතුමනාපෙට ඇවිදින එක.මම එච්චරම මිත්‍යා විස්වාස කරන කෙනෙක් නෙමෙයි.නමුත් සමනල අඩවියේ මගවරදින්න පුළුවන්....අවාරේ නම් කොහොමත් යන්න එපා....!

      Delete
  5. ලස්සන පොටෝ ටික විස්තර ටිකටත් ස්තූතියි

    ReplyDelete
  6. අපි හෙට මේ මාර්ගයෙන් සිරිපා කරුනා කරනවා. සංචාරක කැමරාව තමයි ප්‍රධාන මග පෙන්වන්නා වශයෙන් ඉන්නේ.

    ReplyDelete
  7. සංචාරක නිවහනේ ගණන් මිනුම් ටිකක් කියන්න පුළුවන්නම් ඒ සංචාරයයේ දී අපිට ගොඩක් පහසු වෙයි සංචාරක.

    ReplyDelete
  8. niyamai yaluwa... apith May maase yanna balaporoththuwen innawa :)

    ReplyDelete

කොම්න්ටුවක් දාන්න සල්ලි ගන්නේ නැතෝ....:p

Related Posts Plugin for WordPress, Blogger...