Tuesday, June 4, 2013

උතුවන්කන්දේ සරදියල් එල්ලා මරණු දුටුවෙමි | Uthuwankanda


කාලය : ක්‍රිව 1855

ස්ථානය : උතුවන්කන්ද

            "මම්මලේ...උඹට ඇහෙනවද කරත්ත සද්දේ...? නිච්චියටම කරත්ත තුනක්වත් ඇති...උඹ කොල්ලො ටිකට කතා කරගෙන හන්දියේ ගොරක ගහ යටට වරෙන් ...මං තුවක්කු බටේ අරං එන්නං..... " සරදියල් උතුවන්කන්දේ ගල්කුළු මතින් පහලට බසිමින් කීවේය.

"ඉක්මනට වරෙන්...දැනටමත් උං හන්දියට ලංවෙලා ඇති....සිරිමලෝ මොනවද තෝ ඔය කල්පනා කොර කොර ඉන්නේ...? වරෙන් යන්ට..." මම්මලේ සිරිමලාට කෑ ගසමින් පහලට බසින්නට පටන් ගත් අතර තම අතිජාත මිත්‍රයා වූ මම්මලේ සිරිමලාත් සමඟ උතුවන්කන්ද පහලින්වූ වෙල්යාය දෙසට පල්ලම් බසිනු මොහොතක් බලා සිටි සරදියල් තම තුවක්කුව සඟවා තිබු තැන සොයා කැලය පීරා ඇදෙන්නට විය.

කරත්ත සද්දය  ලඟ ලඟම  ඇසේ.මම්මලේට සගයින් එකතුකර ගැනීමට වෙලාවක් නොවීය.වෙල්යාය මැද්දෙන් දිවගිය මම්මලේත් සිරිමලුත් උතුවන්කන්ද හන්දියේ වංගුවට මදක් එහායින් වූ වනරොදක සැඟවී කරත්තය පෙළ එනතුරු රැක සිටියෝය.සරදි තවමත් නැත.හදිස්සියේ මම්මලේ තම තුවක්කුවද දමා ඇවිත් තිබින.

කෝ බං සරදි...? ඔය කරත්තවල වටිනයමක් තියේනං මුන් නිකන්ම එයිද...? ජා කාරයෝ දෙතුන් දෙනෙක්වත් ඇති...මතකනේ ගියපාර..."

"ඉතින් තෝ බයද...? බයනැතුව හිටු....! ජා කාරයෝ නෙමෙයි සුද්දෝ හිටියත් බාවල තමයි අද ගෙදර යන්නේ...මට ඕකුන් පේන්න බෑ..." මම්මලේ තම කිරිච්චිය අදිමින් කීවේය.

සිරිමලා කියූ ලෙසටම මුලින්ම පැමිණි කරත්තයේ විදේශික පෙනුමැති භටයින් දෙදෙනෙකු සිටියෝය.පසුපසින් තවත් කරත්ත දෙකක් පැමිණි අතර තුන්වන කරත්තය වංගුවෙන් හැරුණු විගසම මම්මලේ මහපාරට පැන්නේය.

"නවත්තපිය ඕක...! "

"සිරිමලෝ බලපන් ඕවයේ මොනවද තියෙන්නෙ කියල....! "

"මේවයෙ මොනව තිබ්බත් තොපිට වැඩක් නෑ...මේවා කෑගල්ලේ උපදිසාපතිතුමාගේ බඩු... මේවට අත තිබ්බොත් තොපිට මැරුම් කන්න වෙයි..." මෙතෙක් වෙලා පිටුපස කරත්තයේ සිටි ආරච්චි කෙනෙකුගේ පෙනුමැති යමෙකු කරත්තයෙන් බසිමින් කීවේය.ඔහු සමඟ පිටුපස කරත්තයේ සිටි තවත් හතරපස්දෙනෙක්ද බිමට පැන්නෝය. 
"මේවයෙ මොනව තිබ්බත් තොපිට වැඩක් නෑ...මේවා කෑගල්ලේ උපදිසාපතිතුමාගේ බඩු... මේවට අත තිබ්බොත් තොපිට මැරුම් කන්න වෙයි..."

      මම්මලේ අත වුයේ කිරිච්චියක් පමණි.තුවක්කුවක් නැතිව ආ ගමන මෝඩකමක් යැයි ඔහුට දැන් සිතේ.තුන් හතර දෙනෙක් නම් ගානක් නැත.මෙහි පිරිස වැඩිය.

"තෝ හිතුවද යකෝ ......"  ඔහු පෙරලා ආරච්චියාට යමක් කියන්නට තැනුවා පමණි.

ඩෝං.......මුළු පළාතම දෙදරවමින් වෙඩි හඬක් ඇසින.

"මොන පාහරයාගේ උනත් මොකද බොල ...!ගනිවු ඔය කරත්ත වල පටවල තියන සේරම බඩු.....! "

අවතාරයක් මෙන් බැද්ද අතරින් මතුවූ සරදියල් දුටු මම්මලේගේ කටකොනකින් සිනාවක් නැගින.

"මලේ මේවයේ තියෙන්නේ දිසාපතියගේ බඩු නං අද අපිට වාසියි වගේ..."

"හ්ම් හ්ම් ඉක්මන් කරපන්" සරදි තම තුවක්කුව කරත්තකාරයා දෙසට හැරවීය.

"අනේ වෙඩිතියන්න එපා ආයුබෝවං...මං කොරන්නේ මගේ රාජකාරිය නොවැ....."

"මං තොට වෙඩි තියන්නේ නෑ යකෝ ...බාපං ඔය බඩු සේරම බිමට"

කරත්තකාරයා වරක් ආරච්චි දෙස  බලා කරත්තයේ වූ ගෝනි එකින් එක බිමට බාන්නට විය.

කරත්ත තුල වූ ගෝනි බිමට බාන අතරතුර මම්මලේ කරත්තයේ පිටුපස සඟවා තිබූ කාසි මල්ලක් ද සොයාගත්තේය.

"හහ්...! තොපි පහල ගං වලින් එකතු කරපු බදු වෙන්න ඇති...."

කරත්තකාරයා බඩු බෑම අවසන් කල පසු සරදියල් ආරච්චිගේ මුදල් පසුම්බියද උදුරා ගත්තේය.

"ගිහින් තොපේ දිසාපතියට කියපන් සරදියල් බඩු ටික ගත්තය කියල,ඒව හොයන්න මිනිස්සු එව්වොත් කරදර වෙන්න වේවිය කියලත් කියපන්..."

ආරච්චි රවා බැලුවා මිස කිසිවක් කීවේ නැත.

"දැන් ඉතින් පලයව් ..."

කරත්ත පෙළ වංගුව පසුකොට තරමක් දුරක් ගමන් කල බවට සැක හැර දැනගත් සරදියල්, බාගත් බඩු ගෙනයාමට කොල්ලන් කීපදෙනෙකු සොයාගෙන ඒම සඳහා සිරිමලාව මොල්ලිගොඩ දෙසට පිටත්කර යැව්වේය.

"මලේ... අද රෑම මේ ටික බෙදල දාමු...උතුවන්කන්දට මේවා අදින්න බෑ..."

"එතකොට අර  අරණායක සූදු පොලේ වැඩේට මොකද කරන්නේ...? "

"යකෝ එක හාන්කවිසියක් වත් මතක නැති උනානේ.....අද හවහට යමන් ඒ වැඩෙත් ඉවරයක් කරන්න... ඕක කරන්නේ අරණායක පැත්තේම  එකෙක්ලු... වත්තේ පඩි දෙන දවසට මූ සූදුව කරන්නනේ.... "

"වැඩකරන උන්ගේ පඩිය කොල්ල කන තක්කඩියෙක්..."

සූදුවේදී මූ හොරකරලා සල්ලි ටික ගසා කනව කියලයි නෙවෙද ආරංචි උනේ...අපි අඳුනගන්න බැරි විදියට ගොහින් වැඩේ ඇත්තද කියල බලමු..."

"එහෙම තමා ආරංචියේ හැටියට..."

"එහෙමනම් අන්තිම වෙනකන් බලල වැඩේ ඇත්තනං දෙකක් තුනක් ඇනල සල්ලි ටික බෙදල දාමු..."

"අද වැඩෙනුත් සෑහෙන ලාබයි..." මම්මලේ ආරච්චිගෙන් උදුරාගත් පසුම්බිය එලියට අදිමින් කීවේය.

"ඕක තියාගනින්...මං ලබන සුමානේ විතර පතුරන් ටිකක් ගන්න මීගමු යන්ට  හිතාගෙන ඉන්නේ.."

"සරදි .." නැවත පැමිණෙන සිරිමලා ඈත සිටම කෑගැසුවේය.

"කොල්ලෝ ටික හොයන්න නෑ බන්.. උක්කුවයි කිරායි විතරයි හම්බු උනේ...."

"යමන්කෝ මේටික කොහෙට හරි ඇදල දාන්ට..."

"අරණායක යනවනම් පිස්තෝලෙ අරන්යන්න වෙයි ...?"

"උබ හවස ලැහැත්ති පිට හිටහන්කෝ....මං එන්නම්කෝ උබලගේ ගෙවල් පැත්තේ..."

            මම්මලේගෙන් සමුගත් සරදි උතුවන්කන්ද දෙසට ගමන් කළේය.හැන්දෑ යාමයට මෙහි පැමිණ පහලින් වූ වෙල්යායත් නිල්වන් වන රේඛාවත් ඊට එපිටින් වූ කඳු වැටිත් දෙස බලා සිටීම ඔහුගේ සිත සන්සුන් කරන කරුණක් විය.වනරොද හරහා ගමන් කල ඔහු අවසානයේ උතුවන්කන්ද මුදුනේ වූ කුඩා ගල් තුඩුවට නැගගත්තේය.
හැන්දෑ යාමයට මෙහි පැමිණ පහලින් වූ වෙල්යායත් නිල්වන් වන රේඛාවත් ඊට එපිටින් වූ කඳු වැටිත් දෙස බලා සිටීම ඔහුගේ සිත සන්සුන් කරන කරුණක් විය
        පහලින්වූ ගම්මානය දෙස බලන ඔහුට මම්මලේගේ නිවසද මැනවින් පෙනේ.ඇතැම්විට මේනකාද (මම්මලේ ගේ සහෝදරිය) නිවසේ සිටින්නට පුළුවන.ඔහු ඇයට කුඩාකල සිටම ප්‍රිය කළ අතර කිසියම් දිනක ඇය විවාහ කර ගැනීමටද සිහින මැව්වේය.නමුත් මේනකා විවාහ කරවන ලද්දේ  කාදර් නැමැත්තෙකුටය.

            මේ සියල්ල සිදුවූයේ අකුරු කිරීමට පන්සලට ගිය දිනයක සරදි සහ ගමේ ආරච්චිගේ පුත්‍රයා අතර ඇතිවූ ගැටුමක් නිසාවෙනි.තම පුත්‍රයාට පහරදුන් සරදි සොයා ආරච්චි ගම පීරන්නට වූයෙන් සරදි එදා ගෙදර නොගොස් කැලයේ සැඟවුනේය.සරදියල් සොයාගැනීමට නොහැකි වූ හෙයින් තවත් කෝපයට පත් ආරච්චි සරදිගේ පියා වූ අදාසිඅප්පු අල්ලාගෙන ගියේය.ආරච්චිට බියෙන් සරදියල් කොළඹට පැනගිය අතර කාලයක් ඔහු හමුදා බැරැක්කයක සේවය කළේය.ආණ්ඩුකාරයාගේ උපන්දින උත්සවයකදා බැරැක්කයකයේ ආයුධ ගබඩාවෙන් තුවක්කු කිහිපයක් හා පතොරම් ගොනියක් පැහැරගෙන පැන ආ සරදි තම මිත්‍රයා වූ මම්මලේ මරික්කාර් සහ තමා කුඩා කල ඇසුරු කල තවත් මිත්‍රයින් කිහිපදෙනෙකු සමග මංපහරන්නටත් ඒවා දුප්පත් මිනිසුන්ට බෙදා දීමටත් පටන් ගත්තේය.විටින් විට පොලීසියට හසුවූ නමුත් රටපුරා සිටි මිත්‍රයින් හේතුවෙන් ඒ හැමවිටකදීම ඔහුට පොලීසියෙන් පලා යාමට හැකි විය.
.................................................................................................................................................  
කාලය : ක්‍රිව 2012

ස්ථානය : උතුවන්කන්ද


         වෙල්යාය මැද්දෙන් උතුවන්කන්ද දෙසට ඇදුනු මාර්ගය දිගේ ගමන් කරන තරුණයින් තිදෙනෙකි.විටින් විට උතුවන්කන්ද දෙස බලමින් ගමන් කල ඔවුන් කන්ද නැගීමට කෙටිමගක් සොයන සෙයකි.ගරාවැටුණු පාසලක ගොඩනැගිල්ලක් අසලින් කැලය දෙසට වූ අඩිපාරකින් හැරුනු ඔවුන් ක්‍රමයෙන් රබර් වත්තකට ඇතුළු වූ අතර පැය කාලක පමණ ගමනකින් පසුව උතුවන්කන් ගල මුදුනතට නැග ගත්තෝය.කන්ද මුදුනේවූ ගල් තුඩුව නැගීම තරමක් අවදානම් කටයුත්තක් වුවද ඉන් භාගයක් පමණ නැගගත් මොවුන් තිදෙනා ආරක්ෂාකාරී ස්ථානයක රැදී අවට පිරික්සන්නට විය.



"හිතපු තරං උස නෑනේ බං...?"

"ඒ උනාට හතරවටේම පේනව"

"අපි පහුකරගෙන ආපු පාරේ ගුහාවක් වගේ එකක් තිබ්බ නේද...? ඕක සරදියල් හැංගිලා හිටපු තැන වෙන්න ඇති.."

"ඇත්තද බන් සරදියල් ඒකාලේ හිටපු වතුකාරයින්ගෙ බංගලාවලට පැනල හොරකං කළා කියන්නේ..."

"මාත් අහල තියනවා ඔය කතාව..."

දහවල් හිරුරැසින් කළුගල් තලාව රත්වී දුම්දමන සෙයකි.ඈත කඳු වළලු  පිසගෙන හමන සුළඟද වියලිය.කර්කශකය.

නිල්වන් කඳුවැටිත් ඉමක් කොනක් නොමැතිව පැතිරුණු වනයත් හුදකලා සිතුවිලි නංවන්නට සමත්ය.කලක් දරුණු මං පහරන්නෙකුගේ තිත්පොලක් වූ උතුවන්කන්ද අද හුදකලාවූ කඳුගැටයකි.

"බෝ ඇල්ල කියල දිය ඇල්ලක් තියනවලු මේ ළඟ පාත.."

"වෙන්න ඇති ...මාඔය යන්නෙත් මාවනැල්ල ටවුන් එක ලඟින්මනේ..."

"ඒයි අර බලපන් අර පල්ලෙහා තියෙන එක ...? හරියට නිකන් රජ මාලිගාවක් වගේ..."

"රජ මාලිගාවල් කොහෙද බං මෙහෙ.....?"

"මොකක්ද බං ඒක....? ගල් වලින් හදපු එකක් වගේ..."

"බහින කොට ඔය පැත්තෙන් බහිමු...බලාගන්න පුළුවන් වෙයිනේ මොකක්ද කියල..."
"ඒයි අර බලපන් අර පල්ලෙහා තියෙන එක ...? හරියට නිකන් රජ මාලිගාවක් වගේ..."

     තවත් මද වේලාවක් උතුවන්කන්ද මුදුනේ ඒ මේ අත ඇවිදගිය තරුණයින් තිදෙනා තමුන් දුටු අමුතු ආකාරයේ ගොඩනැගිල්ල සොයා පල්ලම් බසින්නට විය.

කන්ද බැසගත් ඔවුන් වෙලෙන් එගොඩවී තරමක් විශාලවූ  ද්වාරයකින් කඳු මුදුනතේදී දුටු අමුතු ආකාරයේ  ස්ථානයට ඇතුළු විය.

සැබවින්ම එය තනි ගොඩනැගිල්ලක් නොව ගලින් නිමවන ලද ගොඩනැගිලි සංකීර්ණයකි.

ඔවුන් පළමුව දුටුවේ ඔවුන් දෙස බලාසිටිය ආරච්චි කෙනෙකි.

ඊට පිටුපසින් ගම්වැසියන්ගේ රූප කිහිපයක්ද සරදියල් හා සම්බන්ද සිදුවීම් මාලාවක්ද රූප වලට අඹා තිබුණි.බොහෝ මෑතකදී කරවන ලද මේ රූප සහ ගොඩනැගිලි වලින්  පිළිබිඹු කරවන ලද්දේ සරදියල් ගම්මානයේ අනුරුවකි.



සිමින්ති වලින් අඹන ලද රූප පෙළ අතරින් ගමන්කළ තරුණයින් තිදෙනා කුඩා කෞතුකාගාරයක් වැනි යමකට ඇතුළු විය.

"මේ ඉන්නේ සරදියල් නේද....?"

"ඔය ඉන්නේ මම්මලේ..... අත එල්ලන් ඉන්නේ සරදියල්.....! "
.................................................................................................................................................
කාලය : ක්‍රිව 1864 මාර්තු 21

ස්ථානය : මේනකාගේ නිවස

"සරදි අයියේ....ආරංචියි නේද වැඩේ....? ලොකු හමුදාවක් එනවලු අයියලව අල්ලන්ට..."මේනකා කීවේ තරමක් බියපත් වූ විලසිනි.

"උබ බය නැතුව හිටහන්කෝ නංගියේ..... අපේ සරදිව අල්ලන්ට ඕකුන් කීපාරක් දතකෑවද..? "

"ඒඋනාට මලේ මේපාර උන් පන්සීයක් විතර එනවලු තුවක්කුත් අරගෙන....ලේසි වෙන එකක් නෑ.....කරුමෙට සිරිමලාවයි උක්කිදාවයිත් උන්ට අහුඋනානේ...." "සරදි කීවේ මදක් බැරෑරුම් ලෙසිනි.

"කරුමේ නෙමේ යකෝ....උන් කාසි වලට අපිව පාවා දුන්නා...! ඕකුන් මට අහුඋනොත් වෙඩි තියල දානවා...පර බල්ලො...! උඹ උන්ව විස්වාස කරා වැඩියි...එකයි මේ සේරම...."මම්මලේ කීවේ කෝපයෙනි.
"හාමුදුරුවනේ ඕකා හැංගිලා ඉන්නේ ඕං ඔය කඳුගැටේ මුදුනේ"


"සරදියල් අයියේ ...! සරදියල් අයියේ ...!" දොරකඩ ඉදිරියට පැමිණි කොලුගැටයෙකු හතිලමින් කෑගැසුවේය.

"මොකෝ බන්..."

"පොලීසියේ කට්ටියක් එනවලු මේ පැත්තට සරදියල් අයියව අල්ලන්ඩ...තුන්හාරසීයක් විතර දැනටමත් ගමට ඇවිත් ගමේ කට්ටියගෙන අයියල ඉන්න තැන් ගැන විස්තර අහනවා..."

"කවුද මල්ලියේ උබට ඔය වගක් කිව්වේ.....?"

"පීචෝහාමි නැන්ද කීවේ සරදියල් අයියව හොයාගෙන පණිවිඩේ දෙන්ඩ කියල..."

"කෝ දැන් අපේ අම්ම....?"

"උන්දැගෙනුත් අරුන් ප්‍රස්න කරනව....මට හොරෙන්ම ගිහින් අයියට පණිවිඩේ කියන්ට කිව්ව."

"හ්ම් උබ දැන් පලයන්කෝ.......ආ පොඩ්ඩක් හිටපන්.......නංගියේ උබත් පලයන් මේකත් එක්ක.....මෙතන තව ටිකකින් මොනවා වෙයිද දන්නේ නෑ" 

"අනේ සරදි අයියේ..." මේනකා සිටියේ හොඳටම බියපත්වය.

"උඹ බය නොවී පලයන්කෝ ... අපිට මුකුත් වෙන්නේ නෑ"

මේනකා සරදිත් මම්මලෙත් නිවසේ හැරදමා ගමන් කලේ එතරම් කැමැත්තකින් නොවේ.නමුත් මේ මොහොතේ ඒ හැර ඇයට කළහැකි දෙයක් නොවීය.

මේනකා නොපෙනීයනතුරු බලාසිටි සරදි තම තුවක්කුවත් පිස්තොලයත් සූදානම් කර ගත්තේය.

කිසිදෙයකයටවත් නොසැලුණු මම්මලේ පවා සිටියේ තරමක චකිතයකින් බව සරදියල්ට දැනේ.

"උඹ බයද ...? බය වෙන්ට එපා බං උනුයි අපිට බය වෙලා තියෙන්නේ... නැත්තන් අපි දෙන්න අල්ලන්ට ඔච්චර හමුදාවක් ගෙනෙයියැ..." සරදි  මම්මලේව අස්වසන්නට තැත් කළේය.

මම්මලේ කිසිවක් කීවේ නැත.ඒ වෙනුවට ඔහු ඔවුන් අල්ලන්ට ඒවියයි සිතන දිසාවට වූ ජනේලයක් තුලින් තම තුවක්කුව මානා ගත්තේය.

පහලින් කිසිවෙකුගේ ශබ්ධයක් ඇසේ.සරදි අල්ලන්නට පැමිණි පිරිස මේනකාගේ නිවාස වටකර ඇති සෙයකි.

"අර ජනේලේ ගාව එකෙක් ඉන්නවා වගේ...." නිවස අසලම සිටිඅයෙකු හදිස්සියේම කෑගැසූ අතර සරදි එකවරම හඬ ඇසුණු දෙසට වෙඩි තබා නිවසේ දොර අසලට පැන ගත්තේය.වෙඩිල්ල කාහටහෝ වැදුණු බවක් නොපෙනුන අතර නැවත දොරදෙසින් මෑත්වූ සරදියල් නැවතත් පිරිස සිටි ඉසව්වට වෙඩි තබන්නට සුදානම් වූවා පමණි.වනරොද දෙසින් පැමිණි වෙඩිල්ලක් සරදිට වැදී ඔහු එතනම බිම වැටුණි.මේ බව දුටු මම්මලේඉවක් බවක් නොමැතිව තමාගේ තුවක්කුවෙන් හා සරදිගේ පිස්තෝලයෙන් වෙඩිපහර කීපයක් එක පිට එක එල්ල කලද ඒ සියල්ලම නිෂ්පල වෑයමක් විය.

"මම්මලේ නිකන් මැරුම් නොකා එලියට වරෙන් යකෝ.....සරදිගේ කෙරුම් දැන් ඉවරයි..."

ඒ කලක් තමා සමඟ එකට සිටි සිරිමලා බව හඳුනාගත් මම්මලේ කෝපයෙන් දත්මිටි කෑවේය.

මම්මලේ තම තුවක්කුව දෙස මොහොතක් බලාසිටියේය.එහි පතුරම් හිස්ය.වෙඩි වැදුණු සරදියල් අසරණව බලා සිටින සෙයකි.සරදිගේ දකුණු අතට වෙඩි වැදී තිබිණ.සියල්ලකම අවසානය යැයි මම්මලේට සිතේ.ජනේලයෙන් පිටතමොහොතක් බලාසිටි මම්මලේ තම අතවූ තුවක්කුව බිම දමා සරදියල්වද කරටගෙන ගෙතුලින් පිටතට පැමිණියේය .
.................................................................................................................................................
කාලය : ක්‍රිව 2012

ස්ථානය : සරදියල් ගම්මානය - උතුවන්කන්ද
"ඔය ඉන්නේ මම්මලේ..... අත එල්ලන් ඉන්නේ සරදියල්.....! "

   කෞතුකාගාරය තුල සරදියල් සහ ඔහුගේ මිත්‍රයා වූ මම්මලේ මරික්කාර්ගේ ඡායාරූපයක් විය.මෙය ඔවුන් අත්අඩංගුවට පත්වූ පසු ගන්නා ලද එකකි.සරදියල් වතු බංගලාවලින් මංකොල්ල කනලද වටිනා භාණ්ඩකිහිපයක්ද තවත් චායාරූප කිහිපයක්ද එහි විය.

"අන්තිමට සරදියල්ට මොකද උනේ....?"

"එක බලාගන්ඩ පුළුවන් ඔතනින් එලියට ගිහින් දකුණට හැරුනහම.." එසේ කීවේ කෞතුකාගාරය බලාගැනීමට සහ මෙය නරඹන්නට එන්නවුන්ට මග පෙන්වන මැදිවියේ කාන්තාවකි.

කෞතුකාගාරයෙන් පිටතට පැමිණි තරුණයින් තිදෙනාට දක්නට ලැබුනේ ඔවුන් බලාපොරොත්තු වූ දෙයක් නොවේ.රෙදිකඩකින් මුහුණු වසන ලද සරදිත් මම්මලේත් එල්ලා මරන්නට සූදානම් කර තිබුණි.ක්‍රිව 1864 මැයි 7 වනදා උතුවන්කන්දේ දීකිරිකෑගේ සරදියල් සහ ඔහුගේ අතිජාත සගයා වූ මම්මලේ මරික්කාර් නඩු විභාගයකින් පසු රහසිගතව එල්ලා මරා දැමු බවට එහි සටහන්ව තිබිණ.මෙය සරදියල් අනුරු ගම්මානයේද අවසානය වූ අතර තවමත් වැඩකටයුතු අවසාන නොවූ මෙම පිලිරූ වර්ණ ගන්වා නොතිබුණි. 


       හිරු අවරට යමින් පවතී.උතුවන්කන්දේ මුදුනත මෙතැනට මැනවින් පෙනේ.අවරගිර හිරුරසින් එහි මුදුනත රන් පැහැයෙන් දිදුලයි.වරක් ඒ දෙස නෙත් යොමුකළ මිත්‍රයින් තිදෙනා සරදියල්ගේ රාජධානියෙන් සමුගෙන   මාවනැල්ල දෙසට ගමන් ඇරඹීමට පටන්ගත්තෝය.

පසුසටහන
     දහනමවන සියවසේ උතුවන්කන්ද මොල්ලිගොඩ ගම්මානයේ විසූ රාජසිංහ රජුගේ යකඩ දෝලියගේ දියණියක වූ පීචෝ හාමිගේත් හලාවත හාල්දඬුවන දීකිරිකෑගේ අදාසි අප්පුගේත් වැඩිමහල් පුත්‍රයාවූ සරදියල් කලක් ඉංග්‍රීසි ආණ්ඩුවට මහත් හිසරදයක් වූ දරුණු මං පහරන්නෙකි.උතුවන්කන්ද ඔහුගේ ප්‍රධාන තිත්පොලක් වූ අතර මේනිසාම ඔහු  "උතුවන්කන්දේ සරදියල්" ලෙසින් ජනයා අතර ප්‍රසිද්ධියට පත්විය.අධිරාජ්‍යවාදීන් හා ඔවුන්ගේ ගැත්තන් පිළිකුල්කල සරදියල් කිසිවිටක ඔවුනට හිස නොනැමුවේය.අවසාන වරට අසුවනවිට ඔහු මිනී මැරුම් කිහිපයකට වැරදිකරු බවට පත්ව සිටි අතර මේ හේතුවෙන් ඔහුත් ඔහුගේ සමීපතම සගයා වූ මම්මලේ මරික්කාර්රුත් එල්ලා මැරීමට නියම විය.

            කොළඹ සිට මහනුවර දෙසට ගමන් කරන ඔබට මාවනැල්ල නගරයට ආසන්නව සාරවත් කෙත්වතු අතරින් ඉහලට නැගුනු සුන්දරවුත් අභිමානනීයවුත් උතුවන්කන්ද දැකගත හැකිය.අහස් කුසට යොමුවුණු ඊ තුඩක් බඳුවූ මෙම කඳුමුදුන අධිරාජ්‍යවාදීන් පිලිකුල්කල සරදියල්ගේ දරදඬු හදවත සිහිගන්වන අමරණීය ස්මාරකයක් බැවු මගේහැඟුමයි.
සරදියල්ගේ උතුවන්කන්ද 

18 comments:

  1. ගොඩක් වටිනා ලිපියක් , බොහොම ස්තුතියි අපිත් එක්ක බෙදාගත්තට,

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කමෙන්ටුවට....!

      Delete
  2. බොහොම ස්තුතියි මේ ලිපියට. මේ තොරතුරු නොදන්නා අය අද සෑහෙන්න සිටින බවට කිසිදු සැකයක් නැහැ. 1968 වසරේදී, සාමාන්‍ය පෙළ පන්තියේ ඉන්න දඟකාර කොල්ලකු ලෙස, මගේ සගයින්ද සමග, උතුවන්කන්ද නැග්ග හැටි මතක්වුනා. ඒ අතීතයට මා රැගෙන ගියාට ස්තුතියි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කමෙන්ටුවට...ඒකාලේ මේක වල් බිහිවෙලා තිබ්බේ නැද්ද...?

      Delete
    2. නැහැ. ඒ කාලෙත් අඩි පාර තිබුනා. හැබැයි මාවනැල්ල පොලීසියට කියලා යන්න ඕනේ. ඔය කෞතුකාගාරය නම් බොහොම මෑත යුගයේ එකක්නේ.

      Delete
    3. සන්තෝෂයි පරණ සංචාරකයෙක් අඳුර ගන්න ලැබුන එක ගැන...ඔව් අපි යනකොටත් වැඩ ඉවර නැහැ...සරදියල් ගම්මානයේ අනුරුවක් හදනව කියලයි කිව්වේ...

      Delete
  3. MEPAMANA WATINA, ITHIHASIKA KATHAWAK BALANNA KAWURUWATH NEDDA,THANKS FOR THE ARTICLE. ( PUKA, CHOO, JEE, PADA GENA LIWWOTH NAM POLIME BALANAWA.)

    ReplyDelete
  4. මේ පොස්ට් එක සින්ඩි වල අප්ඩෙට් වෙලා නැතිද...?
    සංචර කැමරාවට මොකෝ උනේ කියල බලන්න ආවමයි මේ පොස්ට් එක දැක්කේ..

    කොහොම උනත් නියම විස්තරේ.වැඩිය දුර නැති නිසා යන්න ඕනි බලන්න.

    ReplyDelete
    Replies
    1. සින්ඩි වල නම් ලිපිය ගිහින් තිබ්බා....වෙලාවක එන්නම්කෝ ඒ පැත්තෙත්... :)

      Delete
  5. ඔන්න මාත් ඇවිත් බැලුවා. විස්තරේ නිකන්ම නොකිය කතාවකුත් එක්කම දාලා තියන නිසා වටින කම වැඩියි..

    ReplyDelete
    Replies
    1. ඔන්න එහෙනම් ආවට ස්තුතියි කියලත් කිව්වා.... :)

      Delete
  6. lassana lipiyak. E wagema mama godak kiyawanna asama warge lipiyak.. Digatama liyanna . Mama aniwa follow karanawa.
    Mamath 'sancharaka kamarawa ' wage thana thana awidinawa.meka mage blog eka. Aluthin patangaththe. Oya awoth mata eka loku gawrawayak.
    :)
    http://vidura-weerasinghe.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තේ ගොඩ වැදුනට... :) අනිවාර්යයෙන්ම එන්නම්කෝ ඔයාගේ බ්ලොග් එක පැත්තෙත්...

      Delete
  7. අපූරු ලිපියක්... සරදියල් කතාව පොතෙන්ද උපුටා ගත්තෙ.. ? සරදියෙල් කියන්නෙ මටනම් වීරයෙක්.

    ReplyDelete
    Replies
    1. කිසිම උපුටාගැනීමක් කරල නැහැ මිත්‍රයා...:( සම්පුර්ණ කතාව නිර්මාණය කලේ මම....හැබැයි විස්තර හොයාගන්න පොත් දෙකතුනක් කියවන්න උනා...

      Delete
  8. Valuable article.keep it up

    ReplyDelete
  9. I am a big fan of Saradiyel. I would love to visit these places next time I come to Srilanka. Can you please tell me, more information about getting to these places? thanks

    ReplyDelete

කොම්න්ටුවක් දාන්න සල්ලි ගන්නේ නැතෝ....:p

Related Posts Plugin for WordPress, Blogger...
There was an error in this gadget