Sunday, August 11, 2013

කඳු පාරක බයිසිකලෙන් | Beauty of Ruwanwalla



   දැන් කාලේ ඉන්න පොඩිඋන් බලන්ඉන්නේ තමුන්ට කම්පියුටරයක් අරං දෙනකන්නේ.......! එත් ඉස්සර එහෙම නෑ.ගොඩක් පොඩි උන්ට ඒකාලේ තිබ්බ  ආසාවක් තමයි බයිසිකලයක් ගන්න එක..මටත් ඉතින් වයස අවුරුදු හතක් අටක් වෙන කාලේ ඉඳන් තිබ්බ බයිසිකල් පිස්සුවක්...හැබැයි ඉතින් තාත්තට කොච්චර කිව්වත් වැඩක් නෑ බයිසිකලයක් අරන්දෙන්න කියල.........බලමු බලමු කියකිය හැමදාම  වැඩේ කල් දානව.....ඒදවස්වල අපේ එහාගෙදර හිටපු අයියට තිබ්බ රතුපාට "තුන්කාලේ" බයිසිකලයක්.ඒගොල්ලන්ගේ වත්ත ටිකක් ලොකුයි.අක්කරයක විතර වගා කරපු හරියක් තිබ්බා.ඔය වත්ත මැද්දෙන් තිබ්බ පුංචි අඩි පාරක්.ඉතින් ඉස්කෝලේ නිවාඩු දවස් වලට අයිය මාවත් ලගේජ් එකේ දාගෙන ඔය පාර දිගේ එහාටයි මෙහාටයි යනඑක තමා වැඩේ.මට බයිසිකලේ පුරුදු නැති හින්ද අයියගෙ බයිසිකලේ පදින්න ගියේ නැහැ.කොහොමින් කොහොම හරි මගේ කරදරෙන් බේරෙන්න බැරි තැන තාත්ත මට, අපේ නෑදෑ වෙන කෙනෙක්ගේ ගෙදරක තිබ්බ පරණ බයිසිකල් කට්ටක් ගෙනල්ල දුන්නා.ඒක පරණයි කියන්නේ හෙනම පරණයි.එකදාස් නවසිය බරගනන් වල ඉදන් පාවිචිචි කරපු එකක්.එත් එළකිරි වගේ වැඩ.කිසිම අවුලක් තිබ්බේ නෑ.

     ඕක මට ගෙනල්ල දුන්නේ පුරුදු උනාම පස්සේ අලුත් එකක් අරන්දෙන පොරොන්දුව පිට.එතකොට මම හිටියෙ හතර වසරේ වගේ.හැබැයි තාත්ත පොරොන්දුව ඉෂ්ට කරේ මම නවයට ගියාටත් පස්සේ.පොඩි කාලේ අපි පදිංචි වෙලා හිටියේ ගම්පහ - කිරිදිවැල පැත්තේ.ඒකාලේ මවුන්ටන් බයිසිකල් එච්චරම ජනප්‍රිය නැහැ.වැඩිය කට්ටිය ගාව තිබ්බෙත් නැහැ.අනික ගොඩක් අයගේ අදහස උනේ ඒවයේ ගියර් කැඩෙනවා,කල් පැවැත්මක් නැහැ කියල.ඉතින් ඒකාලේ අදහස තිබ්බේ පරණ ටයිප් එකේ බයිසිකලයක් ගන්න.මම නවය වසරට යන කාලේ වගේ අපි පදිංචියට ගියා කඩවත පැත්තට.එහෙ හිටපු යාළුවො ගාව තිබ්බේ මවුන්ටන් බයික්.ලොකුවට අවුලක් තිබ්බෙත් නැහැ.අනික ඒපැත්තේ පාරවල්වලත් ටිකක් කඳු පල්ලම් තිබ්බා.ඉතින් මමත් ගත්තා මවුන්ටන් බයික් එකක්ම.වර්ගේ කෙන්ස්ටාර්.ඔන්න තියනවා මගේ නිල වාහනේ ෆොටෝ එකක්.


    මේකෙන් ඉතින් ගම්පහ වටේම කරක් ගහල ඇති. කම්පියුටර් එකක් ගෙනාවත් බයිසිකල් පදින එක නම් අතෑරියේ නැහැ.හැබැයි දැන්නම් කම්පියුටරේටම ඇබ්බැහි වෙලාද කොහෙද...  :(  කතාවෙන් කතාවෙන් අද ලියන්න ආපුදේත් අමතක වෙනවා.මේකත් ඉතින් පුංචි පහේ සංචාරයක් තමා,හැබැයි ගියේ බයිසිකලෙන්.දිග නිවාඩුවක් සෙට් වෙලා ගෙදර ඉඳල ඉඳල එපාවෙලා  බැරිම තැන දවසක් ගත්ත කෝල් එකක් මං වගේම බයිසිකල් අමාරුවක් තියන එකෙකුට...

"මොකද බන් කරන්නේ මේ දවස් වල...? "

"මුකුත් නෑ බන් ගෙදර ඉඳලම එපා වෙලා ඉන්නේ"

"යන්ද බයිසිකල් වටයක් ...? "

"එළකිරිනේ ....දැන් කොහෙද යන්නේ...?"

"අර ඌරපොළ හන්දියෙන් රුවන්වැල්ලට තියෙන්නේ පාරක් ....එකේ යමු..."

"පිස්සුද යකෝ ...? හෙන දුරයිනෙ...! "

"උඹට දුර නෑනේ ...උඹලගේ ගෙවල් ගාවින්නේ පාර පටන් ගන්නේ ..........මමනේ නිට්ටඹුවට එනකන් පදින්න ඕන ...!"
"හරි හරි හෙට උදේම වරෙන්කො එහෙනම්.."
ඔන්න ඔහොමයි වැඩේ සෙට් උනේ.කතාව පොඩ්ඩක් පැහැදිලි වෙන්න ගමනේ සිතියමකුත් පහලින් දැම්ම එහෙනං....

 

    ගමන යන්න කතාකරගත්ත දවසේ උදේ පාන්දරම මම නිට්ටඹුවට පාගගෙන ගියා මගේ යාලුවට හන්දියට එන්න කියල.ගෙදර ඉඳන් නිට්ටඹුවට යන්න පැයක් විතර ගියත් උදේ පාන්දරම හින්දයි කාපට් කරපු පාර හින්දයි එච්චර මහන්සියක් දැනුනේ නැහැ.නිට්ටඹුවට ගියහම මගේ මිත්‍රයාගේ තවත් වැඩකට වේයන්ගොඩටත් ගිහින් ඇවිත් ඔෆිශියල් විදියට ගමන පටන් ගන්න කොට උදේ 8.30ට විතර ඇති.මුලින්ම නිට්ටඹුව - කිරිඳිවැල පාරේ දිගේ උරපොල හන්දියට ගිහින් එතනින් වමට හැරුනා....එක තමයි අපි යන්න කතාකරගෙන හිටපු පාර.ගමනේ මුල් හරිය තිබ්බේ ගමක් මැද්දෙන්.ටික ටික පාර දෙපැත්තේ දකින්න තිබ්බ ගෙවල් ගාන අඩුවෙන්න ගත්තා.ටික දුරක් යනකොට වෙලක් අයිනේ තිබ්බ කඩයක් දැකල නැවැත්තුවෙ මොනවහරි බොන්න කියල.කඩේ හෙන පරණ එකක්.අවුරුදු විස්සක් තිහක් වත් පරණ ඇති.කඩේ ඇතුලේ හිටිය වයසක සීය කෙනෙක්.

"සීයෙ... බීම මොනවහරි තියනවද...?"

"ඒවනං මුකුත් නෑනේ ළමයො...ඔය සෝඩ බෝතල් නම් ඇති " සීය පරණ සෝඩ බෝතල් දෙක තුනක් පෙන්නල කිව්ව. කඩයක් කිව්වට ඒකෙ මුකුත් තිබ්බේ නැහැ, අපිට මුලින් හිතුනේ ඒකෙ හිටපු සීය කඩේ කරන්නෙ විනෝදාංශයක් විදියට කියල...හිකිස් .....:)

බලන්ගියාම ඒපැත්තේ කඩවල හැටි ඔහොම තමයි.ගෙවල් වල උයන්න පිහන්න ඕනම කරන දෙයක් හැර වෙන මුකුත් වැඩිය තියාගන්නේ නැහැ.

කරන්න දෙයක් නැති හින්ද අපි පාර දිගේ තවටිකක් ඉස්සරහට ගියා.දැන් පාර දෙපැත්තේ ගෙයක් වත් පේන්න නැති තරං.....පාලුවට ගිය වතු මැද්දෙන් වංගු ගහ ගහ ගිය පාර ටිකින් ටික කඳු පාරක් බවට හැරුනා.තව ටිකක් දුර යනකොට අපි රබර් වත්තකට ඇතුළු උනා....අක්කර සිය ගානක් ගානක් පැතිරිච්ච රබර් වතු මැද්දෙන් ගමන් කරන පාරෙ යනකොට අපිට මතක් උනේ ඔය සින්දු වල විෂුවල් වලට ගන්න ලොකේශන්...තවමත් කොළ හැලිල නැති රබර් ගස් අපිට පෙනුනේ විසාල වියනක් විදිහට.නිල් පාට අහසයි තද කොලපාට රබර් ගසුයි අළු දුඹුරු පාටට හුරු තාර පාරයි අපිට පෙනුනේ හරියට නිකන් චිත්‍රයක් වගේ.පාරේ එක පැත්තකින් කන්ද උඩහට වවල තිබ්බ රබර් ගස් වල කඳන් අතරින් පාරට යන්තමින් ඉර එලිය වැටිල තිබ්බ.පාරේ අනිත් පැත්තේ පහල නිම්නයෙන් ගලාගෙන ගිය පුංචි පුංචි දිය පාරවල් වල හඬ ,හුළඟට හෙලවෙන රබර් අතු වල සර සර හඬත් එක්ක එකතුවෙලා අපේ මහන්සිය නිමලදැම්ම කිව්වොත් හරියටම හරි. 

  බයිසිකලේ කඳු පාගන එක ලේසි නැහැ.ගොඩක් වෙලාවට අමාරු තැන්වල බයිසිකලෙන් බැහැල තල්ලු කරගෙන ගියා.පල්ලම් හම්බඋනත් ඕවරෝල් ගත්තහම අපි යන්නේ කඳුකරේ පැත්තට හින්ද නැගපු කඳු වලට වඩා බැහැපු පල්ලම් ප්‍රමානේ අඩුයි.

    ඔහොම ටික දුරක් යනකොට, අපි දැක්කා රබර්වත්ත මැද්දෙම,වංගුවක් එක්කම වගේ තිබ්බ පුංචි කඩයක්.ඔතනින් නවත්තල ක්‍රීම් සෝඩ දෙකකුත් එක්ක පොඩි ඉන්ටවල් එකක් එහෙම අරගෙන අපි ආපහු අපේ ගමන යන්න පටන්ගත්ත.

  තව ටිකක් ඉස්සරහට යනකොට අපි ගිය පාර, බස්නාහිර පළාතටයි සබරගමුව පළාතටයි වෙන්කරල තියන බෝඩ්  ලෑල්ලක් හම්බඋනා.මේක හයිකරල තිබ්බේ මාර්ග සංවර්ධන අධිකාරියෙන් (R.D.A).කොහොමත් බස්නාහිර -සබරගමු පළාත් මායිම යන්නෙත් මේ හරියෙන්මයි.
     අපේ ඊළඟ නැවතුම් ස්ථානය උනේ පාර අයිනෙන්ම වගේ ගලන දොළ පාරක් ළඟ.(ඇත්තම කිව්වොත් කන්දක් හම්බඋන හැම තැනකමවගේ  බයිසිකලෙන් බැහැල තල්ලු කරගෙන තමා ගියේ...:P).මෙතනත් මරු ප්ලේස් එක...හැබැයි නාගන්න තරම් ගැඹුර නැහැ...

    

   ටිකින් ටික පහලින් ගලන දිය පාරෙයි පාරයි අතර දුර ටික ටික අඩුවෙලා ගිහින් එක තැනකදී  දොළ පාර අපි ගිය පාර අයිනෙන්ම වගේ යනතැනක් සෙට් උනා.බයිසිකල් දෙක අයිනකින් නවත්තල පොඩ්ඩක් ඇවිදල බැලුවෙ නාගන්න තැනක්වත් තියනවද කියල....

"මෙතනනම් පොඩි ඇල්ලක් තියෙන්නම ඕන... "

"ඒ මොකද..? "

"මෙතනට වඩා අරහරිය ගොඩක් පහලින් තියෙන්නේ...මේ යන වතුර පාර එච්චර පහලට වැටෙන තැන දිය ඇල්ලක් ඇති...."

අපි හිතපු විදියටම, මහා පාරට පේන්නෙ නැතුව හැංගිලා තිබ්බ පුංචි ඇල්ලක් හම්බඋනා.මේ ඇල්ල මීටර්  තුන හතරකට වඩා උස නැහැ.ඒත් නාගන්නනම් හොඳටම ඇති.හොඳටම හෙම්බත් වෙලා හිටපු හින්දයි පාරට පෙන්නේ නැති හින්දයි, අපි ඇල්ලෙ මැද්දට නැගල කළු ගලක් උඩ වාඩි උනා....දැන් ඇල්ලෙ වතුර කෙලින්ම වැටෙන්නේ අපේ ඔලුවට....

     සීතල වතුර නිසා මහන්සිය නැතිවෙලා ගියා...(කළුගලේ හිටපු පුංචි සත්තු ජාතියක් ඇඟේ ගෑවිලා කහන්න ගත්ත එක වෙනම කතාවක්...)
   දියඇල්ලෙන් සමුගත්ත අපි ඊලඟට නැවතුනේ පාර අයිනේ කඳුගැටේක තිබ්බ බෝධියක් ගාව.බයිසිකල් දෙක කැලෙකට දාල අපි කන්ද උඩට නැගගත්ත.කඳු මුදුනෙ ඉඳන් වටපිට බලපු අපිට,තැන් තැන් වල හදල තිබ්බ පොඩි පොඩි ගෙවල් දකින්න ලැබුන.කඳු වල පැල්කොට අටවගෙන ජීවත්වෙන මිනිස්සුන්ගෙ ජීවිත, නාගරික ජීවිත වලට වඩා කොච්චර සැහැල්ලුද කියල තමයි අපිට මුලින්මනම් හිතුනේ....ඒත් මේ මිනිස්සු හරියට පහසුකමක්වත් නැති මේවගේ පාලු පැතිවල රබර් කිරි කපල ගතකරන ජීවිතවල කොච්චර නම් ප්‍රශ්න ඇද්ද...?

බෝධිය පහුකරල තව කිලෝමීටර් කීපයක් ගිය අපි අමිතිරිගල පැත්තෙන් යන්න හිතාගෙන අතුරු පාරකින් හැරෙව්වා.මහදෙනිය කියල හන්දියකින් එලියට ආපු අපි අමිතිරිගල-නඩුවත්ත හන්දිය  හරහා යන පාරකින් ගිහින් ආපහු කිරිඳිවැල-නිට්ටඹුව පාරටමවැටුනා.ඊට පස්සේ ඉතින් ආපු පාරම තමා...මම ගෙදර යනකොට හොඳටම හවස්වෙලා...කකුල් දෙකටත් හොඳ ගණන්...අපිට මගදි ගන්න හම්බඋන තවත් ෆොටෝස් කීපයකුත් පහලින් දාගෙනම අපේ බයිසිකල් සවාරියෙ ලිපිය මෙතනින් නවත්තන්නම්...ඉඳල හිටලා ඔය රුවන්වැල්ල-ඌරපොළ පාරෙ යන්න ලැබෙනවා.කාලෙ ගෙවිල ගිහින් තිබ්බත් මේපළාතේ සුන්දරත්වයේ නම්අඩුවක් වෙලා නැහැ කියලයි  යන හැමවෙලාවකම මට හිතුනෙ...:)
Rubber plantation around Ruwanwella

The Sun behind the clouds...

පෙත්තප්පු

කඳු පාරක සොඳුරු දසුන්


Related Posts Plugin for WordPress, Blogger...