Friday, April 12, 2013

සිංහරාජයේ පුරාණ ගම්මාන | Pitadeniya-Lanka gama


"බොහොම ඉස්සර කාලෙක මේ කැලේ ඉඳල තියනවාලු දරුණු සිංහයෙක්... කැලේ මැද්දෙන් ගිය මිනිස්සුන්ට මේ සිංහයා හරියට කරදර කරලා තියනවා...ලංකා කියල තරුණයෙක් මේ සිංහයාට ගල් වලින් ගහල මරල තියනවලු....ඔය සිංහගලට යන පාරේ තියන අමුතු ගල්ගොඩ සිංහයා මරලා දාපු තැන කියලයි ගම්මු විස්වාස කරන්නේ...ලංකා කියන තරුණය හිටපුගම තමා ලංකා ගම කියල අදටත් පැවත එනනෙ..."
-------------------------------------------------------------------------------------------------------------------------
     වෙලාව උදේ හතට විතර ඇති.සුදු පාට බෝඩ් ලෑල්ලක කලුපාට රවුම් අකුරින් දෙනියාය - අකුරැස්ස කියල ලියපු රතු පාට ලංගම බස් එක වංගු වලින් හැරි හැරී ගමන් කෙරුවේ බොහොම හෙමින්...පුංචි පුංචි කඳු ගැට වල බොහොම පිලිවලට වවල තිබ්බ ලා කොළ පැහැති තේ වගාවනුත්,කහ පාටින් පීදිලා තිබුන වෙල්යායත්,මීදුමින් බර වෙච්ච කඳු වැටිත් හිතට ගෙනාවේ පුදුම සැහැල්ලුවක්....අකුරැස්ස - දෙනියාය හරහා සූරිය කන්ද පැත්තට යන පාර ලංකාවේ තියන සුන්දරම මාර්ග වලින් එකක්....සිංහරාජ වනාන්තරයට මායිම් වෙලා තියන මේ පැත්ත එතරම්ම ජනාවාස වෙලා නැති හින්දදෝ කොහෙද  තවමත් මෙහේ තියන සුන්දරත්වය බොහොම හොඳින් ආරක්ෂා වෙලා තියන බවක් තමා පෙනුනේ...

     ඔහොම යන අතර මගදී පාර දෙපැත්තේ වවල තිබ්බ අමුතු පොල් වගාවකුත් දකින්න ලැබුන....මම නම් හිතන්නේ මේවට කියන්නේ කටු පොල් කියල...අපි දෙනියායෙන් බැහැල ඊට පස්සේ නැග්ගේ මෙදිරිපිටිය කියන බස් එකට....පිටදෙනිය ඇතුළු වීමෙන් සිංහරාජ වනාන්තරය සංචාරය කරන්න යනවා නම් මුලින්ම මෙදිරිපිටියට යන්න ඕන...අපේ අරමුණ උනේ සිංහරාජයේ ඇතුලේ පිහිටලා තියන පිටදෙනිය සහ  ලංකා ගම කියන පැරණි ගම්මාන දෙකත් ඒ අවට වනාන්තරයත් සංචාරය කරන්න.
"මම නම් හිතන්නේ මේවට කියන්නේ කටු පොල් කියල..."
     මෙදිරි පිටියේ ඉදන් පිටදෙනියට තිබ්බේ ගිංගඟේ ඉවුරත් එක්කම වගේ වැටිලා තිබ්බ පුංචි අඩි පාරක්.අපි නවතින්න හිතාගෙන ගියපු වන නිවහන තිබ්බෙත් ගිංගඟේ ඉවුරෙමයි. ඔතන ගඟ හරස් කරලා වැල් පාලමක් බැඳලා තිබ්බා .ඔය වැල් පාලමට වෙලා අක්කර දාස් ගානක් පැතිරුණ සිංහරාජය  දිහා පැය ගානක් උනත් බලාගෙන ඉන්න පුළුවන්....


වැල් පාලමට වෙලා අක්කර දාස් ගානක් පැතිරුණ සිංහරාජය  දිහා පැය ගානක් උනත් බලාගෙන ඉන්න පුළුවන්....
     පලවෙනි දවසේ නම් වැඩිය ඇවිදින්න උනේ නැහැ...පහල ගඟෙන් හොදට නාගෙන කෑම එහෙම කාල ඉවර වෙනකොට හවස හතරත් පහුවෙලා.....පාලමට පොඩ්ඩක් එහායින් තිබ්බා ආරනුව දොළ කියල ගිංගඟේ අතු ගංගාවක්...ඔන්න ඔය දියපාර හරස් කරලා හදල තිබ්බා යකඩ පාලමක්....
"දන්නවද මේ පාලමේ වැදගත්කම ...?"
"මේකේ එක කොනක් අයිති වෙන්නේ මාතරට...අනික ගාල්ල දිස්ත්‍රික්කෙට......! "
     ඔහොම කිව්වේ අපිත් එක්ක ආපු ගයිඩ්...ඉස්සර වගේ නෙමේ දැන් ඔය පැත්තෙන් සිංහරාජෙට යනවනම් ගයිඩ් කෙනෙක් එක්කම යන්න ඕන....

   හවස ආපහු නවාතැනට එද්දි අපිට හම්බඋනා පොලොන් තෙලිස්සෙක්...මං දන්න විදියට කුණකටුවා කියන්නෙත් මූටම තමා. කොළ රොඩු අස්සේ හිටපු මූව දැක්කෙත් අහම්බෙන් වගේ....පෑගුනානම් ඉතින් ඉවරයි තමයි....!

     ඊළඟ දවසෙ උදේ පාන්දරම අපි ලංකා ගම දිය ඇලි බලන්න පිටත් උනා....කැලේ මැද්දෙන් යන ගමනේදී අපිත් එක්ක ආපු ගයිඩ් එක එක ගස් ජාති පෙන්න පෙන්න ඒවායෙ නම්,ප්‍රයෝජන එහෙම කියන්න ගත්තා...මුලදී අපි  ගස් වල නම් මතක තියාගන්න ට්‍රයි එකක් දුන්නත් දිගටම ඕක කොරන්න පුලවන් උනේ නෑ...මම ජීවිතේ පලවෙනි පාරට කැහිබෙල්ලෙක් දැක්කේ මෙහෙදී....හැබැයි ෆොටෝ එකක් ගන්න තරම් ලඟට දැක්කේ නෑ ...:(

ඊට අමතරව වලිකුකුළා,දඬු ලේනා,ඇහැටුල්ලා,පිනුම් කටුස්සා,පලා කටුස්සා කළු උකුස්සා වගේ සත්තු කීපදෙනෙකුත් ගමන අතර මගදී දකින්න ලැබුනා....


     ලංකා ගම සිංහරාජේ ඇතුලේ තිබ්බත් දැන් නම් ගොඩක් දියුණු ගම්මානයක්.නමුත් මේක ගොඩක් ඉස්සර ඉදන්  තිබිච්ච ගමක් කියලයි අහන්න ලැබුනෙ...
"මහත්තයා, මේකැලේ ගැන අපි දන්න දේවල් වලට වඩා නොදන්නා දේවල් වැඩී....තාම මිනිස්සු පය නොගහපු තැන් ඕනතරන්.. කැලේ යද්දි පාර වැරදුනොත් දෙයියන්ගේම පිහිට තමා...මං දන්න කාලේදී නම් සිංහයෝ ගැන අහන්න ලැබිල නෑ....බොහොම ඉස්සර කාලෙක මේ කැලේ ඉඳල තියනවාලු දරුණු සිංහයෙක්... කැලේ මැද්දෙන් ගිය මිනිස්සුන්ට මේ සිංහයා හරියට කරදර කරලා තියනවා...ලංකා කියල තරුණයෙක් මේ සිංහයාට ගල් වලින් ගහල මරල තියනවලු....ඔය සිංහගලට යන පාරේ තියන අමුතු ගල්ගොඩ සිංහයා මරලා දාපු තැන කියලයි ගම්මු විස්වාස කරන්නේ...ලංකා කියන තරුණය හිටපුගම තමා ලංකා ගම කියල අදටත් පැවත එනනෙ..."
ඔන්න ඔහොමයි ලංකාගම ගැන අපිට අහන්න ලැබුනෙ...
"සිංහරාජේ දැන් සිංහයෝ නැතිඋනත් දිවියෝ ඉන්නවා.මහත්තයා දැකල තියනවද කළු දිවියා...? බොහොම කලාතුරකින් තමා කළු දිවියෙක් දකින්න ලැබෙන්නේ...අලි උනත් ඉන්නවා.. එක කාලෙකට  ගම්වලටත් කඩාපාත් වෙනවා...එත් ලොකු කරදරයක් නම් නෑ..."
     සිංහරාජය ගැන පුරාවෘත්ත ගොඩක් තියනවා..ඒවයින් එක කතාවක් තමයි කැලේ මැද්දේ තියනව කියල විස්වාස කරන රජ මාලිගාව...කවුරුවත් ඔය කියන මාලිගාව දැකල නැති උනත් ගම්මු විස්වාස කරනවා කැලේ මැද්දේ කොහේහෝ රහස් ස්ථානයක රජ මාලිගාවක නටබුන් තියනවා කියන එක....සමහර විට එක ඇත්ත වෙන්නත් පුළුවන්..මොකද සිංහරාජේ එක එක යුගයන් වලදී ලංකාවේ තිබ්බ එක එක රාජධානි වල උරුමයක් විදියට සලකල තියනවා....ඉතින් කවුරු හරි රජ කෙනෙක් සතුරු ආක්‍රමණයක් ගැන හිතල කැලේ මැද්දේ ඔය වගේ තැනක් හැදුව වෙන්න බැරිද...?
මේක නම් ඉතින් රජ මාලිගාවක් නෙමේ.... ...!
මේක නම් මාලිගාවක් තමා ...හැබැයි ඇවිදින එකක් .....
    මීළඟට කියන්න යන්නේ ලංකාගම ආසන්නයේ කැලේ ඇතුලට වෙන්න තියන දියඇලි කීපයක් ගැන.පලවෙනි එක තමයි බ්‍රාහ්මණ ඇල්ල.පහලින් දක්වල තියෙන්නේ බ්‍රාහ්මණ ඇල්ලෙ ෆොටෝ එකක්....


එතකොට මේක තමයි තට්ටු ඇල්ල...
තට්ටු ඇල්ල
ඌරන් වැටුණු ඇල්ල (අනිත් ඒවත් එක්ක ගත්තහම මේක තරමක් ලොකු ඇල්ලක්) නම වැටිල තියන විදිය හිතා ගන්න පුළුවන්නේ....??
ඌරන්ට මොන සෞඛ්‍යයද කියල හැම මගුලේම ඇවිද්දත් අපි මෙතන නම් එච්චර දඟලන්න ගියේ නැහැ...කකුල් හතරක් තියන ඌරොත් වැටුනානම් අපි ගැන මොන කතාද...?? :) 


ගල්ඔරුව (මේක තරමක් වෙනස් තැනක්.ඇල්ලක් කිව්වට පටු ගල් බිත්ති දෙකක් අස්සෙන් වේගයෙන් ගලාගෙන යන දිය පාරක් කිව්වොත් වඩා නිවැරදියි).මේක බලන්න යන එක තරමක් අවදානම් වැඩක්.යන්තමින් හරි කකුල ලෙස්සුවොත් නවතින්නේ අඩි ගානක් පල්ලෙහා ගල් කුහරෙ අස්සේ...

දූවිලි ඇල්ල - සිංහරාජේ දූවිලි ඇලි කීපයක්ම තියනවා.මේක ඒවායින් එකක්.නාගන්න නම් කියාපු තැන...
දූවිලි ඇල්ල  
     හවස පිටදෙනියේ වන නිවහනට ආපහු එන ගමන් පිටදෙනිය ගම ආසන්නව පිහිටලා තියන තවත් ඇල්ලක් බලන්න ලැබුනා කැකුණ ඇල්ල කියල.මේකේ තටාකය ගොඩක් ගැඹුරුයි. අපිත් එක්ක ආපු ගයිඩ් අපිට අනතුරු ඇඟව්වා නාන්න නම් එපා කියල...
"මේක බලන්න ආපු එක්කෙනෙක් ඔතන නාන්න ගිහින් ගිලිලා මැරුණා...මිනිය ගොඩ ගත්තේ ආමි එකෙන්.."

කැකුණ ඇල්ල
     අපේ නවාතැනට එනකොට ටිකක් හවස් වෙලා තිබුනා...නාගෙන එහෙම රෑ කෑම එක හම්බ වෙන කන් පොඩි චැටක් දාගෙන ඉදිද්දී දන්නෙම නැතුව කරුවල වැටිලා.

     කරුවලේම අපි සංගිලි පාලම දිගේ ගඟ මැදට ඇවිදගෙන ගියා.හඳ වලකුලකින් වැහිල තිබ්බ නිසා පට්ට කරුවලයි.නමුත් රෑට ගඟේ සද්දේ වඩා පැහැදිලිව ඇහෙනවා.....පැය ගානක් උනත් එකදිගට ගඟේ ඝෝෂාව අහගෙන ඉන්න පුළුවන්....එක පාරටම වගේ හඳ වලාකුළුවලින් මෑත් උන හින්ද අපිට පහලින් ගලාගෙන යන ගඟත් වනාන්තරයත් පැහැදිලිව දකින්න ලැබුන... හඳ එලිය වැටුණු වනාන්තරයෙත් ගඟ දියෙත් සුන්දරත්වය වචන වලින් කියන්න තේරෙන්නේ නැහැ....ඒවගේ තැනකට ගිහිල්ලම තමා බලන්න ඕන...

     ඊළඟ දවසේ පාන්දරම අපි ටිකක් කැලේ ඇතුලට ගියේ තවත් දිය ඇලි දෙකක් බලන්න.යන අතර මගදි දැකපු දෙයක් තමයිමේක...පේනවද මේ ගහේ කඳේ තියන අමුතු කැපුම් පාර...?
     මේ තියෙන්නේ දොරණ කියල ගස් වර්ගයක්.ඉස්සර මිනිස්සු දොරණ තෙල් ගන්න මේ විදිහට ගහේ කඳ හරහා කපල යටින් භාජනයක් තියනවලු.හැබැයි මෙහෙම කරාම ගහට වෙනදේ  ගැන අහන්න ඕන නැහැනේ...:(  
     ගහක් ගැන කතාවක් පටන් ගත්ත හින්ද මේගමම්ම ගමනේදී දැකපු තවත් ගස් දෙකතුනක් ගැන කියල දාන්නම්...අහල තියනවා නේද සිංහරාජේ තියන යෝධ නවද ගහ ගැන...?එක තියෙන්නේ කුඩාව පැත්තේ...පිටදෙනියේදි අපිට හම්බඋනා ඒ වගේම යෝධ ගහක්...හැබැයි මේක හොර ගහක්...
යෝධ හොර ගහ 
     රූපලාවන්‍යයට උනන්දු අයට පහල තියන ගහ බොහොම වැදගත් එකක්...මේවට කියන්නේ කොකුම් පොතු කියල.මමත් ඔය නම අහලතිබ්බත් ගහ දැක්කේ එදාමයි...

 කොකුම් පොතු  
     එතකොට මේවට කියන්නේ වල්කෝපි කියලලු...බලන්න කෝපි වගේම නේද කියල....? 
වල්කෝපි  
    මොණර කුඩුම්බිය කියලගස් ජාතියකුත් අපිට හම්බ උනා මගදි.හැබැයි මේ අපේ ගෙවතු වල දකින්න තියන වර්ගේ නම් නෙමෙයි.මේක මොණරෙක්ගේ ඔලුවේ තියන කොටස වගේම හින්ද වෙන්න ඇති ඔය නම වැටිල තියෙන්නේ...

මොණර කුඩුම්බිය
   ඔහොම යන අතරමගදි අපි දැක්ක බිම වැටිලා ඉන්න යෝධ මකුළුවෙක්...මටනම් හිතෙන විදිහට මේකා දිවි මකුළුවෙක්....දිවි මකුළුවෝ කියන්නේ බොහොම විෂ සහිත සතෙක්...දෂ්ට කලොත් එහෙම මාරාන්තිකයි කියලයි අහල තියෙන්නේ...මූ හිටියේ පුංචි සතෙක්ව අල්ලාගෙන....අපි වැඩිය ලඟට ගියේ නැහැ....ඉල්ලන් කන්නේ මොකටද ඉතින්...:)
මටනම් හිතෙන විදිහට මේ දිවි මකුළුවෙක්
    ඇමේසන් වගේ වනාන්තර වල ඉන්නවලු දරුණු කුහුඹු වර්ගයක්  ඕනම සතෙක් විනාඩි කිහිපයක් ඇතුලත කාල දාන්න පුළුවන්.ඔය වගේ කුබි ජාතියක් ගැන ෆිල්ම් එකකුත් තිබ්බ වගේ මතකයි.මේ යෝධ කුඹි රැල දැක්කහම අපිට මතක් උනේ අර කියපු දරුණු කුබි වර්ගෙ ගැන.මුන් හම්බඋනේ මල්මොර ඇල්ලට යන පාර අතර මගදි.ගෙරි කුබි කියලයි මුන්ට  කියන්නේ....අරවගේ දරුණු ජාතියක් නම් නෙමේ.හැබැයි කඩියෙක් විතර ඇති සයිස් එක.



දෙවැනි දවසේ බලන්න ගිය පතන් ඔය ඇල්ලත් මල්මොර ඇල්ලත් පිහිටලා තියෙන්නේ මහ වනය මැද්දේ...ගමන ටිකක් දුරයි.දවස් දෙකක් ඇතුලත දිය ඇලි අටක් බලපු අපිටත් දිය ඇලි එපාඋන එකේ මේක කියවන ඔයාලට කොහොම එපා වෙයිද....හේ හේ ....
පතන් ඔය ඇල්ල
මල්මොර ඇල්ල
 ගත්ත ෆොටෝ සේරම දාන්න ගියොත් මේක ඉවරයක් වෙන්නේනැහැ...මල්මොර ඇල්ල බලල දවල් දොළහ විතර  වෙද්දි අපිට ආපහු නවාතැනට එන්න ලැබුනා.බඩු ටික එහෙම පැක් කරගෙන ආපහු යන්න ලැහැස්ති උනේ ගොඩක් රෑ වෙන්න කලින් කොළඹට යා ගන්න ඕන නිසා...ලිපිය අවසාන කරන්න කලින් ගමනේ අතරමගදී ගන්න ලැබුන තවත් සේයාරූ කීපයකුත් දාගෙනම යන්නම්.දවසක් විතර කට්ට කාගෙන ටයිප් කරපු හින්ද කොමෙන්ටුවක් දාගෙනම යන්න හොඳේ....:)
කිතුල 
Time to say good bye...
Related Posts Plugin for WordPress, Blogger...