Saturday, March 28, 2020

බැමිණිතියා සාය



       “මෙම ලංකාද්වීපයෙහි එක් සමයෙකැ බැමිණිතියා සාය නම් වූ දුර්භික්ෂයක් දොළොස් අවුරුද්දක් පැවැත්තේය.ඒ දොළොස් අවුරුද්ද මුළුල්ලෙහි මෙම ලංකාද්වීපයෙහි වැසි පොදකුත් නො හෙලීය.එසේ හෙයින් දුර්භික්ෂය විය.අහර නොලැබීමෙන් උපදෘත වූ මනුෂ්‍යයින්ට රෝග භය විය.
එකලැ ශරීරයෙහි ලෙහෙ මස් සිදී අස්තිචර්මවශේෂ වූ මනුෂ්‍යයෝ ඉතා දුඃඛිත වූහ.”
 [ වත්ථුලපබ්බත වස්තුව - සද්ධර්මාලංකාරය  ]

     බැමිණිතියා සාය සම්බන්ධයෙන් මහාවංශයේ  වැඩි විස්තරයක් සඳහන් නොවේ.නමුත් සද්ධර්මාලංකාරය,සීහළවත්ථුප්පකරණය වැනි ඉපැරණි ග්‍රන්ථ කිහිපයකම මෙම දුර්භික්ෂය ගැන සටහන් වී ඇත.මූලාශ්‍ර වලට අනුව ක්‍රි.පු 104 දී රාජ්‍යත්වයට පැමිණි වට්ටගාමිණි අභය (වළගම්බා ) රජු ගේ ප්‍රථම රාජ්‍ය කාලයේදී වර්ෂාව හිඟ වීමෙන්ද දකුණු ඉන්දීය දමිල ආක්‍රමණිකයින් සත් දෙනෙක් සහ තිස්ස (තීය) නැමති බමුණෙකුගේ කැරැල්ලක් නිසාවෙන්ද අගතියට පත් ලක්දිව වාරි කර්මාන්තය හේතුකොටගෙන ඇතිවූ දුර්භික්ෂය “බැමිණි + තීය + සාය” හෙවත් “බැමිණිතියා සාය” ලෙසින් හඳුන් වන්නට ඇත.


   මෙම ආක්‍රමණිකයින් හා තිස්ස නම් කැරලිකරුවා ගැන මහාවංශයේ සිංහල අනුවාදනය මෙසේ සඳහන් කරයි.

[“ තිස්ස නම් දාමරිකයා රාජ්‍ය ඉල්ලා රජු වෙත ලියුමක් යැවීය.රජතුමා තිස්සට පිළිතුරක් යැවීය.”දැන් රාජ්‍ය තොපගේය.දෙමළුන් මරව”යි එහි සඳහන් විය.දෙමළුන් හා සටනට ගිය හෙතෙම (තීය) පරාජයට පත්විය.”]

         තීය පරාජය කල පසු වළගම්බා රජුද පරාජයකල ද්‍රවිඩයෝ රාජ්‍යය අලවා ගත්හ.යුද්ධයෙන් පැරද පලාගිය වළගම්බා රජු , එක්තරා ගිරි නම් නිඝන්ටයෙකුට අයත්  ආරාමයක් අසලින් ගමන් කරද්දී  ”මහා කළු සිංහලයා පලා යයි “ යැයි කෑගැසූ ගිරි නිඝන්ටයාත් පලායන කරත්තයේ බර සැහැල්ලු කිරීමට රථයෙන් බැස ගත් වීර සෝමා දේවියත් පිලිබඳ සිදුවීම්  ඔබ දන්නා ප්‍රසිද්ධ ඉතිහාසයයි.
     ද්‍රවිඩ කුමාරයින් වසර දාහතරක් එකිනෙකා මරාගනිමින් අනුරාධපුරය පාලනය කරන ලදී. බැමිණිතියා සාය අගභාගයේදී නැවත පැමිණෙන වළගම්බා රජු , දාඨිය නම් අවසාන දෙමළ නායකයා මරා දමා රාජ්‍යය නැවත අලවා ගන්න ලදී.තමාට අපහාස කර තමා සතුරාට පාවා දෙන්නට තැත් කල ගිරි නිඝන්ටයාගේ ආරාමය විනාශ කරවූ රජු එහි “අභය ගිරි” නමින් විශාල ආරාමයක් කරවන ලද අතර සෝමා දේවියද නැවත ගෙන්වා නියම පදවියෙහි පිහිටවූයේය.
මේහා වූ කලී  ඉතිහාස කතාවයි. ”බැමිණිතිකාලය” යනු මේ වකවානුව අලලා අනුරාධ මහ සිංහ නම් රචකයා විසින් නිර්මිත කල්පිත අතුරු නවකතාවකි.මෙහි රචකයා විසින් කෘතියේ ප්‍රස්තාවේදී එක්තරා වැදගත් කාරණයක් ඉස්මතු කර ඇත.
වර්තමානය යනු ඉතිහාසයේ දිගුවකි.අනෙක් අතට වර්තමානය විසින් ඉතිහාසය යලි නිර්මාණය කෙරේ.එබැවින් මේවා අන්‍යොන්‍ය වශයෙන් ම පවතින සම්මුති සත්‍යයන් වෙයි.ඓතිහාසික නිර්මාණයක යෙදෙන රචකයා මේ  කරුණ ගැන සාවධාන ව,වර්තමානයත් ඉතිහාසයත් අතර වූ සම්මුතීන් අතික්‍රමණය කිරීමට උත්සහ කලයුතු යැයි මම විශ්වාස කරමි.

යම්කිසි ධර්ම සාකච්ච්ජාවක් සඳහා එක්තරා දුර්ග මගක් දිගේ මහලු හාමුදුරුවන් වහන්සේ නමක් වැඩමවාගෙන යන කලුහාමි ගේ කරත්තයට ගොඩවන බරණි, පෝරිසාදයාගේ ලුහුබැඳීමෙන් බේරී පලායාමට කරත්තයෙන් පැනීමත්, ඉන් නොබෝ කලකින් සාසනය රැක්මට තම රජුන් ගේ රථයෙන් පැන සෝමා දේවිය කල ක්‍රියාවත් ,අතීතය ඊට නොබෝදිනක වර්තමානයේ  නැවත සිදුවීම ගෙනහැර පෑමක් ද? හාමුදුරුවන්ගේ නිර්වාණය ගැන වූ චිත්තරූපයෙන් කළුහාමි ගේ චේතනාව පිළිබිබු වීමක් සිදුවේද? අවසානයේ පෝරිසාදයාව වේලංග විසින් යුද්ධය සඳහා යම් අයුරකින් ප්‍රයෝජනට ගැනීමත් හා ඔහු නොමැරීමත් ,අතීතය හා  වර්තමානය අතර සම්මුති අතික්‍රමණය කිරීමට රචකයා ගත් වෑයමක්ද එසේ නොමැතිනම් අතීතයත් වර්තමානයත් අතර ඇති සමානකමක් රහසේ හුවා දැක්වීමක්ද යන්න ගැටළු සහගතය.මන්ද යත් අතීතයේ මෙන්ම වර්තමානයේද පොරිසාදයින් ධර්ම යුද්ධයට යොදවන අවස්ථා සඳහා උදාහරණ අපට දැකගත හැකිනිසවෙනි.  සංවාදයට විවෘතයි...

ප.ලි
සෝමා දේවිය රථයෙන් පැන ගිය අවස්ථාවේ දුටු සිදුවීමක් ගැන මහාවංශයේ සඳහන් වේ.එනම් එක්තරා සාමණේර නමක් අතින් මාර්ගය වසා මුත්‍රා කරනු බිසව දුටු බවත් පසුකලක රජු හමුවී එම සිදුවීම රජුට පවසූ විට රජු විසින් එහි ගල්හෙබකඩ නම් සෑයක් සහ විහාරයක් කරවූ බවය.මෙය සිලාසොබ්භකණ්ඩක /සෝමාරාමය/මනිසෝමාරාමය / ලංකාරාමය ලෙසින් හඳුන්වන බවට මතයක් පවතී.



සටහන - බ්ලොග් එකේ ලිපියක් දැම්මේ සෑහෙන කාලෙකින්.අවුරුදු 5කින් වගේ කිව්වොත් හරියටම හරි.අම්මෝ මේකේ තිබ්බ මකුළුදැල් .... :O .දැන් බ්ලොග් කියවන කට්ටිය මේකට ආපු  පරණ කස්ටිය තාම ඉන්නවද කියල දන්නේ නෑ.දැක්කොත් පොඩි කොමෙන්ටුවක් දාගෙන යන්න.මේ ලිපිය වෙන කාරණාවකට ලියපු එකක් උනත් ඔන්නඔහේ මේකටත් අතැරලා දැම්මා.

Sunday, August 30, 2015

මානැල්ල | Manalla




          සල්ගල අරණ්‍ය සේනාසනය හොයාගෙන ගිය ගමන අවසානයේදී අපිට හම්බඋන තවත් සුන්දර දිය ඇල්ලක් ගැනයි මේ කියන්න යන්නෙ.ඇත්තම කිව්වොත් මේ දියඇල්ල අපිට හම්බඋනා නෙමෙයි හෙන කට්ටක් කාගෙන හොයාගෙන ගිය එකක්...සල්ගලට ගොඩක් ලඟින් තියන බවක් ආරංචි උනත් හරියටම පාරක් දන්නේ නැතුව ආපු නිසා ඇල්ල හොයාගන්න එක ලේසි උනේ නැහැ.සල්ගල වන අරණේ පැය ගානක් ඇවිදපු හින්දයි ඔය කාලේ Man Vs Wild බලබල ඒවගේ ඒව කරන්න තිබ්බ උණ හින්දයි අපි ආපහු මහපාරට නොගිහින් මගදි හම්බඋන දිය පාරක් දිගේ ඇල්ල හොයාගෙන යන්න තීරණය කළා....:P

"මචන් අපි මේ ඇලපාර දිගේ යමු.ටිකක් දුර යනකොට  අපිට ගමක් හම්බවෙයිනේ...එතකොට ඕක ගැන විස්තර හොයා ගන්න පුළුවන් වෙයි..."

මුලින් මුලින් ඇලපාර දෙපැත්තේ මැටි වලින්,බ්ලොග් ගල් වලින් හදාපු ගෙයක් දෙකක් දකින්න තිබ්බා.මානැල්ල දියඇල්ල තිබ්බේ වේරගල කියන පැත්තේ..ඉතින් අපි ඔය ගෙදරකින් අහල බැලුව වේරගලට යන කෙටි පාරක් තියනවද කියල...අන්තිමට හම්බඋන ගෙදරින් කිව්වේ මෙන්න මෙහෙම...

"කැලේට  ඇතුල් වෙන හරියෙම වගේ තියනවා ලඟදි හිටවපු කොස් ගහක්...එතනින් පොඩ්ඩක් ඇතුලට ගියාම පෙනෙයි ලඟදි හදල අතඇරලා දාපු ගෙපැලක්....එතන ඉඳන් තියනවා කැලේ ඇතුලෙන් මහපාර පැත්තට යන අඩි පාරක්...හැබැයි ඕක හොයාගන්න පුළුවන් වේද දන්නේ නැහැ..."

අපිත් ඉතින් ඩයල් වගේ ගිහින් කොස්ගහ හොයාගෙන එතනින් කැලේට ඇතුල්උනා...හැබැයි සෑහෙන වෙලා හෙව්වත් ගෙපලක් හම්බඋනේ නැහැ....දැන් අපි ඇලපාරට ගොඩක් ඈතින් හිටියේ...නමුත් වතුර පාරේ සද්දේ ඇහෙන හින්ද ආපහු ඇල ඉවුරට ගිහින් ඒක දිගේ යන්න පටන් ගත්තේ වෙන කරන්න දෙයක් නැති හින්ද....


        ඇලේ වතුර තිබුනේ යන්තමින් උනත් වැස්ස කාලෙට ලොකු වතුර පාරක් ගලන බවක් නම් පෙනෙන්න තිබ්බ.කොහොමහරි අපේ ගමන කෙලවර උනේ රබර් වත්තකින්....එතනින් ගම හරහා යන පාරකට ගොඩවෙන්න අපිට පුළුවන් උනා.එහෙන් මෙහෙන් මගදි හම්බවෙන අයගෙන් විස්තර ඇහුවත් කවුරුවත් මානැල්ල කියල ඇල්ලක් ගැන හරියට හෝඩුවාවක් දුන්නේ නැහැ....එක එක්කෙනා කියපු විස්තර වල හැටියට අතුරු පාරවල් වලින් හැරි හැරී අන්තිමට ඇල්ල ලඟට යනකොට හවස 3ත් පහුවෙලා.

      මානැල්ල, කෑගල්ල පැත්තේ තියන තරමක් උස දිය ඇලි වලින් එකක්.මීටර් 20ක් විතර ඇති උස.සංචාරකයින් අතර එච්චරම ප්‍රසිද්ධ නැති උනත් ,සුන්දර මානැල්ල කැලේ මැද්දේ තනිකරන්න ගමේ කොල්ලෝ ටික නම් ඉඩදීල නැති හැඩක් තමා අපටනම් පේන්න තිබ්බේ...බලන්නකෝ ගලඋඩ කීදෙනෙක් ඉන්නවද කියල...
 
බලන්නකෝ ගලඋඩ කීදෙනෙක් ඉන්නවද කියල...
    මානැල්ල බලන්න යනවනම් කොටියාකුඹුර පැත්තෙන් එන එක ලේසියි.සංචාරයේදී පරිසරයටත් ගම්වාසීන්ටත් බාධා නොකර හැසිරෙන්න කියල මතක්කරන ගමන් අදට කැමරාවෙන් සමුගන්නයි යන්නේ.ලංකාවේ තවත් සුන්දර තැනක් ගැන ලිපියකින් නැවත හමුවෙනතුරු හැමෝටම ආයුබෝවන්...!





Sunday, August 11, 2013

කඳු පාරක බයිසිකලෙන් | Beauty of Ruwanwalla



   දැන් කාලේ ඉන්න පොඩිඋන් බලන්ඉන්නේ තමුන්ට කම්පියුටරයක් අරං දෙනකන්නේ.......! එත් ඉස්සර එහෙම නෑ.ගොඩක් පොඩි උන්ට ඒකාලේ තිබ්බ  ආසාවක් තමයි බයිසිකලයක් ගන්න එක..මටත් ඉතින් වයස අවුරුදු හතක් අටක් වෙන කාලේ ඉඳන් තිබ්බ බයිසිකල් පිස්සුවක්...හැබැයි ඉතින් තාත්තට කොච්චර කිව්වත් වැඩක් නෑ බයිසිකලයක් අරන්දෙන්න කියල.........බලමු බලමු කියකිය හැමදාම  වැඩේ කල් දානව.....ඒදවස්වල අපේ එහාගෙදර හිටපු අයියට තිබ්බ රතුපාට "තුන්කාලේ" බයිසිකලයක්.ඒගොල්ලන්ගේ වත්ත ටිකක් ලොකුයි.අක්කරයක විතර වගා කරපු හරියක් තිබ්බා.ඔය වත්ත මැද්දෙන් තිබ්බ පුංචි අඩි පාරක්.ඉතින් ඉස්කෝලේ නිවාඩු දවස් වලට අයිය මාවත් ලගේජ් එකේ දාගෙන ඔය පාර දිගේ එහාටයි මෙහාටයි යනඑක තමා වැඩේ.මට බයිසිකලේ පුරුදු නැති හින්ද අයියගෙ බයිසිකලේ පදින්න ගියේ නැහැ.කොහොමින් කොහොම හරි මගේ කරදරෙන් බේරෙන්න බැරි තැන තාත්ත මට, අපේ නෑදෑ වෙන කෙනෙක්ගේ ගෙදරක තිබ්බ පරණ බයිසිකල් කට්ටක් ගෙනල්ල දුන්නා.ඒක පරණයි කියන්නේ හෙනම පරණයි.එකදාස් නවසිය බරගනන් වල ඉදන් පාවිචිචි කරපු එකක්.එත් එළකිරි වගේ වැඩ.කිසිම අවුලක් තිබ්බේ නෑ.

     ඕක මට ගෙනල්ල දුන්නේ පුරුදු උනාම පස්සේ අලුත් එකක් අරන්දෙන පොරොන්දුව පිට.එතකොට මම හිටියෙ හතර වසරේ වගේ.හැබැයි තාත්ත පොරොන්දුව ඉෂ්ට කරේ මම නවයට ගියාටත් පස්සේ.පොඩි කාලේ අපි පදිංචි වෙලා හිටියේ ගම්පහ - කිරිදිවැල පැත්තේ.ඒකාලේ මවුන්ටන් බයිසිකල් එච්චරම ජනප්‍රිය නැහැ.වැඩිය කට්ටිය ගාව තිබ්බෙත් නැහැ.අනික ගොඩක් අයගේ අදහස උනේ ඒවයේ ගියර් කැඩෙනවා,කල් පැවැත්මක් නැහැ කියල.ඉතින් ඒකාලේ අදහස තිබ්බේ පරණ ටයිප් එකේ බයිසිකලයක් ගන්න.මම නවය වසරට යන කාලේ වගේ අපි පදිංචියට ගියා කඩවත පැත්තට.එහෙ හිටපු යාළුවො ගාව තිබ්බේ මවුන්ටන් බයික්.ලොකුවට අවුලක් තිබ්බෙත් නැහැ.අනික ඒපැත්තේ පාරවල්වලත් ටිකක් කඳු පල්ලම් තිබ්බා.ඉතින් මමත් ගත්තා මවුන්ටන් බයික් එකක්ම.වර්ගේ කෙන්ස්ටාර්.ඔන්න තියනවා මගේ නිල වාහනේ ෆොටෝ එකක්.


    මේකෙන් ඉතින් ගම්පහ වටේම කරක් ගහල ඇති. කම්පියුටර් එකක් ගෙනාවත් බයිසිකල් පදින එක නම් අතෑරියේ නැහැ.හැබැයි දැන්නම් කම්පියුටරේටම ඇබ්බැහි වෙලාද කොහෙද...  :(  කතාවෙන් කතාවෙන් අද ලියන්න ආපුදේත් අමතක වෙනවා.මේකත් ඉතින් පුංචි පහේ සංචාරයක් තමා,හැබැයි ගියේ බයිසිකලෙන්.දිග නිවාඩුවක් සෙට් වෙලා ගෙදර ඉඳල ඉඳල එපාවෙලා  බැරිම තැන දවසක් ගත්ත කෝල් එකක් මං වගේම බයිසිකල් අමාරුවක් තියන එකෙකුට...

"මොකද බන් කරන්නේ මේ දවස් වල...? "

"මුකුත් නෑ බන් ගෙදර ඉඳලම එපා වෙලා ඉන්නේ"

"යන්ද බයිසිකල් වටයක් ...? "

"එළකිරිනේ ....දැන් කොහෙද යන්නේ...?"

"අර ඌරපොළ හන්දියෙන් රුවන්වැල්ලට තියෙන්නේ පාරක් ....එකේ යමු..."

"පිස්සුද යකෝ ...? හෙන දුරයිනෙ...! "

"උඹට දුර නෑනේ ...උඹලගේ ගෙවල් ගාවින්නේ පාර පටන් ගන්නේ ..........මමනේ නිට්ටඹුවට එනකන් පදින්න ඕන ...!"
"හරි හරි හෙට උදේම වරෙන්කො එහෙනම්.."
ඔන්න ඔහොමයි වැඩේ සෙට් උනේ.කතාව පොඩ්ඩක් පැහැදිලි වෙන්න ගමනේ සිතියමකුත් පහලින් දැම්ම එහෙනං....

 

    ගමන යන්න කතාකරගත්ත දවසේ උදේ පාන්දරම මම නිට්ටඹුවට පාගගෙන ගියා මගේ යාලුවට හන්දියට එන්න කියල.ගෙදර ඉඳන් නිට්ටඹුවට යන්න පැයක් විතර ගියත් උදේ පාන්දරම හින්දයි කාපට් කරපු පාර හින්දයි එච්චර මහන්සියක් දැනුනේ නැහැ.නිට්ටඹුවට ගියහම මගේ මිත්‍රයාගේ තවත් වැඩකට වේයන්ගොඩටත් ගිහින් ඇවිත් ඔෆිශියල් විදියට ගමන පටන් ගන්න කොට උදේ 8.30ට විතර ඇති.මුලින්ම නිට්ටඹුව - කිරිඳිවැල පාරේ දිගේ උරපොල හන්දියට ගිහින් එතනින් වමට හැරුනා....එක තමයි අපි යන්න කතාකරගෙන හිටපු පාර.ගමනේ මුල් හරිය තිබ්බේ ගමක් මැද්දෙන්.ටික ටික පාර දෙපැත්තේ දකින්න තිබ්බ ගෙවල් ගාන අඩුවෙන්න ගත්තා.ටික දුරක් යනකොට වෙලක් අයිනේ තිබ්බ කඩයක් දැකල නැවැත්තුවෙ මොනවහරි බොන්න කියල.කඩේ හෙන පරණ එකක්.අවුරුදු විස්සක් තිහක් වත් පරණ ඇති.කඩේ ඇතුලේ හිටිය වයසක සීය කෙනෙක්.

"සීයෙ... බීම මොනවහරි තියනවද...?"

"ඒවනං මුකුත් නෑනේ ළමයො...ඔය සෝඩ බෝතල් නම් ඇති " සීය පරණ සෝඩ බෝතල් දෙක තුනක් පෙන්නල කිව්ව. කඩයක් කිව්වට ඒකෙ මුකුත් තිබ්බේ නැහැ, අපිට මුලින් හිතුනේ ඒකෙ හිටපු සීය කඩේ කරන්නෙ විනෝදාංශයක් විදියට කියල...හිකිස් .....:)

බලන්ගියාම ඒපැත්තේ කඩවල හැටි ඔහොම තමයි.ගෙවල් වල උයන්න පිහන්න ඕනම කරන දෙයක් හැර වෙන මුකුත් වැඩිය තියාගන්නේ නැහැ.

කරන්න දෙයක් නැති හින්ද අපි පාර දිගේ තවටිකක් ඉස්සරහට ගියා.දැන් පාර දෙපැත්තේ ගෙයක් වත් පේන්න නැති තරං.....පාලුවට ගිය වතු මැද්දෙන් වංගු ගහ ගහ ගිය පාර ටිකින් ටික කඳු පාරක් බවට හැරුනා.තව ටිකක් දුර යනකොට අපි රබර් වත්තකට ඇතුළු උනා....අක්කර සිය ගානක් ගානක් පැතිරිච්ච රබර් වතු මැද්දෙන් ගමන් කරන පාරෙ යනකොට අපිට මතක් උනේ ඔය සින්දු වල විෂුවල් වලට ගන්න ලොකේශන්...තවමත් කොළ හැලිල නැති රබර් ගස් අපිට පෙනුනේ විසාල වියනක් විදිහට.නිල් පාට අහසයි තද කොලපාට රබර් ගසුයි අළු දුඹුරු පාටට හුරු තාර පාරයි අපිට පෙනුනේ හරියට නිකන් චිත්‍රයක් වගේ.පාරේ එක පැත්තකින් කන්ද උඩහට වවල තිබ්බ රබර් ගස් වල කඳන් අතරින් පාරට යන්තමින් ඉර එලිය වැටිල තිබ්බ.පාරේ අනිත් පැත්තේ පහල නිම්නයෙන් ගලාගෙන ගිය පුංචි පුංචි දිය පාරවල් වල හඬ ,හුළඟට හෙලවෙන රබර් අතු වල සර සර හඬත් එක්ක එකතුවෙලා අපේ මහන්සිය නිමලදැම්ම කිව්වොත් හරියටම හරි. 

  බයිසිකලේ කඳු පාගන එක ලේසි නැහැ.ගොඩක් වෙලාවට අමාරු තැන්වල බයිසිකලෙන් බැහැල තල්ලු කරගෙන ගියා.පල්ලම් හම්බඋනත් ඕවරෝල් ගත්තහම අපි යන්නේ කඳුකරේ පැත්තට හින්ද නැගපු කඳු වලට වඩා බැහැපු පල්ලම් ප්‍රමානේ අඩුයි.

    ඔහොම ටික දුරක් යනකොට, අපි දැක්කා රබර්වත්ත මැද්දෙම,වංගුවක් එක්කම වගේ තිබ්බ පුංචි කඩයක්.ඔතනින් නවත්තල ක්‍රීම් සෝඩ දෙකකුත් එක්ක පොඩි ඉන්ටවල් එකක් එහෙම අරගෙන අපි ආපහු අපේ ගමන යන්න පටන්ගත්ත.

  තව ටිකක් ඉස්සරහට යනකොට අපි ගිය පාර, බස්නාහිර පළාතටයි සබරගමුව පළාතටයි වෙන්කරල තියන බෝඩ්  ලෑල්ලක් හම්බඋනා.මේක හයිකරල තිබ්බේ මාර්ග සංවර්ධන අධිකාරියෙන් (R.D.A).කොහොමත් බස්නාහිර -සබරගමු පළාත් මායිම යන්නෙත් මේ හරියෙන්මයි.
     අපේ ඊළඟ නැවතුම් ස්ථානය උනේ පාර අයිනෙන්ම වගේ ගලන දොළ පාරක් ළඟ.(ඇත්තම කිව්වොත් කන්දක් හම්බඋන හැම තැනකමවගේ  බයිසිකලෙන් බැහැල තල්ලු කරගෙන තමා ගියේ...:P).මෙතනත් මරු ප්ලේස් එක...හැබැයි නාගන්න තරම් ගැඹුර නැහැ...

    

   ටිකින් ටික පහලින් ගලන දිය පාරෙයි පාරයි අතර දුර ටික ටික අඩුවෙලා ගිහින් එක තැනකදී  දොළ පාර අපි ගිය පාර අයිනෙන්ම වගේ යනතැනක් සෙට් උනා.බයිසිකල් දෙක අයිනකින් නවත්තල පොඩ්ඩක් ඇවිදල බැලුවෙ නාගන්න තැනක්වත් තියනවද කියල....

"මෙතනනම් පොඩි ඇල්ලක් තියෙන්නම ඕන... "

"ඒ මොකද..? "

"මෙතනට වඩා අරහරිය ගොඩක් පහලින් තියෙන්නේ...මේ යන වතුර පාර එච්චර පහලට වැටෙන තැන දිය ඇල්ලක් ඇති...."

අපි හිතපු විදියටම, මහා පාරට පේන්නෙ නැතුව හැංගිලා තිබ්බ පුංචි ඇල්ලක් හම්බඋනා.මේ ඇල්ල මීටර්  තුන හතරකට වඩා උස නැහැ.ඒත් නාගන්නනම් හොඳටම ඇති.හොඳටම හෙම්බත් වෙලා හිටපු හින්දයි පාරට පෙන්නේ නැති හින්දයි, අපි ඇල්ලෙ මැද්දට නැගල කළු ගලක් උඩ වාඩි උනා....දැන් ඇල්ලෙ වතුර කෙලින්ම වැටෙන්නේ අපේ ඔලුවට....

     සීතල වතුර නිසා මහන්සිය නැතිවෙලා ගියා...(කළුගලේ හිටපු පුංචි සත්තු ජාතියක් ඇඟේ ගෑවිලා කහන්න ගත්ත එක වෙනම කතාවක්...)
   දියඇල්ලෙන් සමුගත්ත අපි ඊලඟට නැවතුනේ පාර අයිනේ කඳුගැටේක තිබ්බ බෝධියක් ගාව.බයිසිකල් දෙක කැලෙකට දාල අපි කන්ද උඩට නැගගත්ත.කඳු මුදුනෙ ඉඳන් වටපිට බලපු අපිට,තැන් තැන් වල හදල තිබ්බ පොඩි පොඩි ගෙවල් දකින්න ලැබුන.කඳු වල පැල්කොට අටවගෙන ජීවත්වෙන මිනිස්සුන්ගෙ ජීවිත, නාගරික ජීවිත වලට වඩා කොච්චර සැහැල්ලුද කියල තමයි අපිට මුලින්මනම් හිතුනේ....ඒත් මේ මිනිස්සු හරියට පහසුකමක්වත් නැති මේවගේ පාලු පැතිවල රබර් කිරි කපල ගතකරන ජීවිතවල කොච්චර නම් ප්‍රශ්න ඇද්ද...?

බෝධිය පහුකරල තව කිලෝමීටර් කීපයක් ගිය අපි අමිතිරිගල පැත්තෙන් යන්න හිතාගෙන අතුරු පාරකින් හැරෙව්වා.මහදෙනිය කියල හන්දියකින් එලියට ආපු අපි අමිතිරිගල-නඩුවත්ත හන්දිය  හරහා යන පාරකින් ගිහින් ආපහු කිරිඳිවැල-නිට්ටඹුව පාරටමවැටුනා.ඊට පස්සේ ඉතින් ආපු පාරම තමා...මම ගෙදර යනකොට හොඳටම හවස්වෙලා...කකුල් දෙකටත් හොඳ ගණන්...අපිට මගදි ගන්න හම්බඋන තවත් ෆොටෝස් කීපයකුත් පහලින් දාගෙනම අපේ බයිසිකල් සවාරියෙ ලිපිය මෙතනින් නවත්තන්නම්...ඉඳල හිටලා ඔය රුවන්වැල්ල-ඌරපොළ පාරෙ යන්න ලැබෙනවා.කාලෙ ගෙවිල ගිහින් තිබ්බත් මේපළාතේ සුන්දරත්වයේ නම්අඩුවක් වෙලා නැහැ කියලයි  යන හැමවෙලාවකම මට හිතුනෙ...:)
Rubber plantation around Ruwanwella

The Sun behind the clouds...

පෙත්තප්පු

කඳු පාරක සොඳුරු දසුන්


Related Posts Plugin for WordPress, Blogger...