Sunday, March 17, 2013

බෙලිලෙනේ ආදි මානවයෝ | Belilena




  මෙහි වූ ලෙනෙහි විශේෂත්වය එහි පියස්සෙන් ඇදහැලෙන මනරම් දිය ඇල්ලයි.ගුහාවක් ඉදිරියෙන් ඇදහැලෙන දියඇල්ලක් ඉතා දුර්ලභ දසුනකි.ලංකාවේ මෙවැනි ස්ථාන ඇත්තේ කිහිපයක් පමණක් වියයුතුය.

"නාමුද.......?     මේකට ඔලුව අල්ලන්න විතරයි තියෙන්නේ.."

"යකෝ පට්ට හීතලයි නේ...."
සිහින් දියකඳ මගේ පිට මත වැටෙන විට දැනුනේ බොරළු කැට ගොඩකින් පිටට දමා ගසනවාක් වැනි හැගීමකි. 
................................................................................................................................................. 
        අපහට කිතුල්ගල බෙලිලෙනට යාමට හැකිවුයේ කිතුල්ගල water rafting කිරීමට පැමිණිවිටකදීය.බෙලිලෙන පිහිටා ඇත්තේ කිතුල්ගලින් මහබාගේ දෙසට ඇති මාර්ගයෙහි කිලෝමීටර් පහක් පමණ ගිය තැන වන අතර අපේ නවාතැන්පල පිහිටියේ මහබාගේ මාර්ගයේ අතරමග බැවින් පයින් යාහැකි කෙටිමගක් සොයාගත හැකි විය.
        ඉංඔය රබර් වතුයාය මැදින් ගමන්ගන්නා මාර්ගය තරමක් රළුය. අප ගමන ආරම්භ කලේ පාන්දරිනි.තවමත් හරිහරි මිහිදුම පහව ගොස් නොතිබූ අතර හිරු එලිය වැටුනේද යන්තමින්ය.තවමත් කොළ නොහැලුනු රබර් ගස් අතරින් විහිදෙන හිරු කිරණ  පැහැබර උදෑසනක සජීවී ච්ත්‍රයක් අප ඉදිරියේ මවාලයි.
මද වෙලාවකින් අප තරමක් එළිමහන් වූ උස් බිමකට ලඟාවූ අතර මෙහිදී අපට දොළොස් බාගේ කඳුවැටියේ කොටසක මනරම් දර්ශනයක් දැකගත හැකිවිය.

සුන්දර දොළොස්බාගේ 
       කෙටි විවේකයකින් පසු අපි නැවතත් ගමන ආරම්භ කළෙමු.මෙවර  මාර්ගය වැටී තිබුනේ වන ලැහබක් අතරිනි.
"ඇයි මේකට බෙලිලෙන කියන්නේ....? "මගේ මිත්‍රයෙකු කටහඬ අවදි කළේය.
"ඕකේ තිබිල හම්බවෙලා තියනවලු ගොලුබෙලි කටු ගොඩක්.....ඉස්සර හිටපු මිනිස්සු ගස්වල ඉන්න ගොලුබෙල්ලෝ කාල තියනවා....!"
"සිරාවට...? ඔය කොයිකාලේ හිටපු උන්ද බන්....??"
"හම්බවෙලා තියන බෙලිකටු අවුරුදු 10000 ක් විතර පරණයිලු...හැබැයි ඕකෙන් හම්බවෙලා තියන ගල් ආයුධයි සත්තුන්ගේ ඇටකටු වලින් හදපු ආයුධයි නම් අවුරුදු 30000 ක් විතර පරණයි කියල කියන්නේ...."
       තවත් ටිකදුරක් ඇවිද ගිය අපි කුඩා ප්‍රමාණයේ තේවත්තක් ද ලැයිම් කිහිපයක්ද පසුකලෙමු.මාර්ගයට දකුණු පසින්, වනාන්තරය තුලවූ ගල්කුලකින්  ඇද වැටෙන සිහින් දියඇල්ලක් හදිස්සියේම අපේ නෙතුගැටුනි.
"මං හිතන්නේ ඔතන තමා ලෙන ඇත්තේ..."

"මං හිතන්නේ ඔතන තමා ලෙන ඇත්තේ..."
"මේ හරිය රක්ෂිතයක්ද ...?"
"ඔව්... අක්කර 30 ක විතර පොඩි පුරාවිද්‍යා රක්ෂිතයක් තියනවලු..."

මද වේලවකින් අපට බෙලිලෙනට යන අතුරුමාවතක්  හමුවිය.

බෙලිලෙනේ ප්‍රධාන වශයෙන් ලෙන් තුනකි.මැදින් ඇති ලෙන තරමක් විශාල අතර බොහෝ කැනීම් සිදුකර ඇත්තේද එහිය.දිගින් අඩි 60ක්ද පළලින් අඩි 40ක්ද පමණ වූ මෙහි මෑතකදී කරවන ලද නටබුන් වූ විහාරයක්ද දකින්නට ලැබිණ.

අනෙක් පසින් වූ ලෙනෙහි විශේෂත්වය එහි පියස්සෙන් ඇදහැලෙන මනරම් දිය ඇල්ලයි.ගුහාවක් ඉදිරියෙන් ඇදහැලෙන දියඇල්ලක් ඉතා දුර්ලභ දසුනකි.ලංකාවේ මෙවැනි ස්ථාන ඇත්තේ කිහිපයක් පමණක් වියයුතුය.මා මෙවැනි තැනක් ගැන මීට කලින් අසා ඇත්තේ නකල්ස් වල පිහිටි සේර ඇල්ල පමණි.මෙහි එතරම් ජල කඳක් නොවූයෙන් දිය ඇල්ල වැසිකාලයට පමණක් ඇතිවන එකක් වියයුතුය.

ඇල්ල පිටුපස පිහිටි ලෙන,වවුල් රාජධානියකි.ගුහාව මදක් පිරික්සූ අප නැවත ඇල්ල පාමුලට ගියෙමු.

"නාමුද....? මේකට ඔලුව අල්ලන්න විතරයි තියෙන්නේ.."

"යකෝ පට්ට හීතලයි නේ...."
සිහින් දියකඳ මගේ පිට මත වැටෙන විට දැනුනේ බොරළු කැට ගොඩකින් පිටට දමා ගසනවාක් වැනි හැගීමකි .

"නාමුද....? මේකට ඔලුව අල්ලන්න විතරයි තියෙන්නේ.."


මෙහි ජීවත්වූවන් මධ්‍ය ශිලා යුගයට අයත්ය.හෝමෝසේපියන් බලන්ගොඩෙන්සිස් යන නමින් හඳුන්වන  මොවුන් පිලිබඳ සාක්ෂි  මුලින්ම හමුවී ඇත්තේ බලන්ගොඩ ප්‍රදේශයෙනි.අනෙක් වැදගත් කරුණ වන්නේ මෙහි ලෙන ඉදිරියෙන් හමුවූ පැරණි ගල් බැම්මයි.එය ශ්‍රිලංකාවේ පෙදරේරු  ශිල්පය සම්බන්දයෙන් හමුවී ඇති පැරණිම සාක්ෂිය ලෙස සැලකේ.
බෙලිලෙනේ සිටි ආදිවාසින් සම්බන්දයෙන් වැදගත් කරුණු රාශියක් එහි සිදුකර ඇති කැනීම් වලින් සොයාගෙන ඇත.මෙහිදී මොවුන් විසින් බෙල්ලන්ට අමතරව ඌරන්,ගෝනුන්,මීමින්නන්,හාවුන් වැනි සතුන්ද ආහාරයට ගෙන ඇති බවටද ලුණු පරිහරණය කර ඇති බවටද වර්ණ භාවිතය පිළිබඳව දැනසිටි බවටද පැහැදිලි සාක්ෂි හමුවී ඇත.
බෙලි ලෙනට අමතරව ලංකාවේ බොහෝ තැන් වලින් අප රටේ විසූ ආදිවාසින් සම්බන්ධව තොරතුරු හමුවී ඇති අතර පාහියන් ගල,බටදොඹ ලෙන,බටතොට ලෙන,ඇඹිලිපිටිය රංචමඩම,අලවල ඉන් ප්‍රධානය.ආදී මානවයින් සම්බන්ධයෙන් ලංකාවට විශේෂ තැනක් හිමිවන්නේ ආසියාවේ පැරණිම මානවයන් ලෙස සැලකෙන සුප්‍රකට පීකිං මානවයා මෙන්ම ජාවා මානවයාටද වඩා බලන්ගොඩ මානවයා ඉපැරණි වීමයි.බලන්ගොඩ මානවයාගේ ඉතිහාසය දිවයන්නේ මින් වසර 37000 ක් පමණ පෙර අතීතයකටය.නමුත් පුරාවිද්‍යාඥ පී. ඊ. පී. දැරණියගල මහතා ගේ මතය වන්නේ මෙහි මානව සම්භවය මින් වසර ලක්ෂ පහක් පමණ ඈතට දිවයන බවය.සාක්ෂි හමුවී නැතත් මෙම මානවයින්  උතුරු ප්‍රදේශයේ මාන්කුලම් වල සිටිබවටත් වසර 250000 ක් පමණ පැරණි මානවයන් යාල භූමියේත් වසර 125000 පමණ පැරණි මානවයන් බූන්දල ප්‍රදේශයේත් සිටිබවට මතයක් පවතී.ඇතැම්විට ඔවුන් පිළිබද සාක්ෂි තවමත් මහවනයෙන් වැසී තිබෙන්නෙට පුළුවන. 
බෙලි ලෙන කැණීම් 



Saturday, February 23, 2013

අන්දරේගේ සොහොන | Tomb of Andare


එක්තරා දිනයක,ශුෂ්ක කලාපයේ පාලු වූ වැව් ඉස්මත්තකදී  මට හතර ගාතය දමා සිටි අන්දරේ මුණ ගැසින.
        අන්දරේ ගැන අසා නැති කෙනෙකු නැති තරම්ය......එහෙත් ඔබ කෙදිනකවත් අන්දරේගේ සොහාන පිහිටි ස්ථානය ගැන අසා තිබේද.....?  එක්තරා දිනයක,ශුෂ්ක කලාපයේ පාලු වූ වැව් ඉස්මත්තකදී  මට හතර ගාතය දමා සිටි අන්දරේ මුණ ගැසින.ඔහු මිය යන්නට ඇත්තේ කුමක් නිසාද.....? ඔහු පිපාසයෙන් සිටි බවක් පෙනේ....දැන් වැවේ වතුර යන්තමින් හෝ ඇතත් පිපාසයෙන් පීඩිතව සිටි ඔහු මියයන විට එය වියලී තිබෙන්නට ඇත.
           මා අන්දරේගේ සොහොන කරා පැමිණි මාර්ගය තනිකරම දුඹුරු පැහැතිය..යන්තමින් හමන සුළඟකට පවා මුළු පරිසරයම දුහුවිල්ලෙන් නැහැවෙයි. පලු ගස් කිහිපයකින් තැන තැන සෙවන වී ඇතත් සුළග නම් වියලිය...උණුසුම්ය..මාස ගණනකින් මේ පළාතට වැස්සක් වැටී නොමැති සෙයකි.


     හේන්වල සුලබව දක්නට ලැබෙන දඬු වැටකින් වටවුණු කුඩා නිවසක් ඈතින් පෙනේ.නිවස අසල සෙල්ලම් කරමින් සිටි කුඩා ළමයෙකු  මා එහි දොරටුව අසලට එනු දුටු විගසම ගෙතුලට දිව ගියේය.
   
     "අම්මේ ...අන්න කවුද ඇවිල්ලා....."

     "කවුද පුතේ...?"

     ගෙතුලින් තරමක් තරුණ  කාන්තාවක් එලියට ආවාය.

     "අර..අන්දරේගේ සොහොනට යන්නේ මේ පාරෙන්ද....? "


      "ආ...මේපාරේ දිගටම ගියාම වැව හම්බවෙනවා.................

       වැවේ ඉවුර  ගාවම   තමා ඕක තියෙන්නේ..."  

     "හොයාගන්න අමාරු වෙයිද...? "

      "නෑ.....ඉස්සරනම් ඔතන මුකුත් තිබ්බේ නෑ..."

    "පස්සේ ඔය  ඇමති ගොල්ල කට්ටියක් ඔතන හදල බෝඩ් එකකුත් දාල තියෙන්නේ..."     

     "ආ එහෙමද ...බොහොම ස්තුතියි... ගිහින් එන්නම්..."

   පාරදිගේ දිගටම යනවිට වැවක් ලෙස කිවහැකි යමක් මුණගැසිණ...නෙළුම් සහ හබරල ගස් වලින් වැසුණු එය පාලුවට ගිය සෙයකි... එවිටම පාරේ මා යන දෙසට පැමිණි ත්‍රීරෝද රථයක් එකවරම මා අසල නැවැත්විය..

    "මහත්තය කොහාටද යන්නේ...?"

    "අන්දරේගේ සොහොන ගාවට...එතනට ගිහින් ආපහු හන්දියට යන්න කීයක් ගන්නවද...? "  

    "පනහක් විතර දෙන්නකො ...." ඔහු ටිකක් කල්පනා කොට කීවේය.

    වෙලාවේ හැටියට පනහක් නොව සීයක් ඉල්ලුවත් පාඩු නැත.

    "හරි යන්.."

   තවත් මොහොතකින් මට වැව් ඉස්මත්තේ සිමින්තියෙන් තනා ඇති අන්දරේ ගේ පිළිරුවක් ද සොහොන යයි කිවහැකි වටකර ඇති යමක්ද පෙනුනි.

    "මෙතන තමා තැන..." 



     "මම ෆොටෝ දෙකතුනක් අරන් එන්නම්..."

    සොහොන අසල මෑතකදී තනන ලද අන්දරේගේ මියගිය ස්වරූපය දක්වන පිළිරුවක් ද රජවාසලේ චිත්‍රයක්ද දක්නට ලැබිණි.

     "ඔය සොහොනේ උඩ කිසිම ගහක් වැවෙන්නේ නෑ..." ත්‍රී විල් කරු  කියයි.

    මමද ඒදෙස විපරමින් බැලුවෙමි...එයමත කුඩා පඳුරු කීපයක් වැවී ඇත.ඔහු මගේ මුහුණේ තිබු අදහස තේරුම්යන්නට ඇත.
     "ඔය පඳුරු තිබ්බට මුලයන ගස් ඔතන හැදෙන්නේ නෑ..." ඔහු නැවතත් කියයි.
    ඔය ගම්මුන්ගේ හැටියකි.විශේෂ සොහොනක් ඇතිවිට එය මත ගස් පැල නොවනබව කියයි.කෙසේ වෙතද මෙහි කුඩා ගසක්වත් දක්නට නොලැබුණි.ඇතැම්විට මෙයට හේතුව මෙහි දමා ඇති කොන්ක්‍රීට් තට්ටුවක් වීමට පුළුවන.

"ඔය පඳුරු තිබ්බට මුලයන ගස් ඔතන හැදෙන්නේ නෑ..." ඔහු නැවතත් කියයි.
  අන්දරේ ගේ සොහොන බැලීමට යාහැකි හොඳම අවස්ථාව ඔබ කතරගම යන විටකදීය.හම්බන්තොටින් තිස්සමහාරාම පාරේ යනවිට හමුවන උඩමලල හන්දියෙන් වමට ඇති පාරේ කිලෝමීටරයක් පමණ ගොස් එහි දකුණු දෙසින් වූ වැව  අයිනදිගේ ඇති   අතුරුමගක ගමන් කිරීමෙන් අන්දරේගේ සොහොන වෙත ලඟාවිය හැක.  
උඩමලල හන්දියෙන් රතු පැහැයෙන් දක්වා ඇති මාර්ගයේ ගමන් කිරීමෙන් අන්දරේගේ සොහොන වෙත ලඟාවිය හැක.

  අන්දරේ යනු හුදෙක් මනඃකල්පිත චරිතයක් නොවේ.18 වන සියවසේ සෙන්කඩගල මහනුවර රාජාධි රාජසිංහ රජු දවස රජවාසලේ සිටි විකටයෙකි,කවියෙකි.අන්දරේ වටා ගෙතුණු කතා රාශියකි.අන්දරේ සීනි කාපු හැටි,ගල උස්සපු හැටි,ගොනාට ඇඳීම,හතරබීරි කතාව,කිරි කෑ හැටි,රබන් පැලීම ඉන් වඩා ප්‍රසිද්ධ කතන්දර ලෙස දැක්විය හැක.මොහු රජවාසලේ සේවය කල වකවානුව ක්‍රි.ව 1781සිට 1798 දක්වා   බවට ඔහුගේ සොහොනේ සටහන්ව පවතී.
   ඔහුගේ උපන්ගම  ලෙස සැලකෙන්නේ මාතර දෙවිනුවර ප්‍රදේශයයි.එය ඔහුගේ පියාගේ උපන්ගම වන අතර ඔහුගේ මවගේ ගම වශයෙන් සඳහන් වන්නේ දික්වැල්ල ග්‍රාමයයි.දිගු කලක් රජ වාසලේ සේවය කල අන්දරේ තම ජීවිතයේ අවසාන භාගයේ, තමන් ඉපදුනු සුන්දර ගම්මානයත් තරුණවියේ ගැටමානේ බිරිඳ සමග ගතකල ජීවිතයත්  සිහිපත් වී තම වයස්ගත බවද,රෝගී බවද නොසලකා එහි යාමට තීරණය කල අතර, ගමනේ අතරමගදී ඉහත සඳහන් උඩමලල වැව ඉස්මත්තයේ පිපාසයෙන් මියගිය බවටඉතිහාසයේ සඳහන් වේ.

    ලිපිය අවසාන කරන්නට පෙර අන්දරේ විසින් කියන ලද කවි කිහිපයක් මෙසේ සටහන් කර තබමි.  

රජ බිසව ගැන රජුට කී කවියක්


                 බොහොම හොඳට රන්කම්කල වැඩක් වගෙ යි
                 දේවතුමට මහබඹු දුන් ලියක් වගෙ               යි 
                 ලෝකේ ඉන්න පඬිහට පිස්සුවක් වගෙ         යි 
                 කොහොඹ ගහට කරවිල වැල ගියා වගෙ      යි 

පෙම්වතියට          
  
         කොළඹ කළුතර අලුත් ගන්තර මුනේ මාතර ගාල්ලේව       ත් 
         සපරගමු පුත්තලම උඩරට කොට්ටියරම් තොට මුනේ ව      ත් 
         සතර සත් කෝරලේ ඇතුළුව මෙවැනි මැදි හත්පත්තුවේ ව  ත් 
         නුබ සේ ලස්සන කතක් නුදුටිමි සතර වාසල් කොන් අටේ වත් 

තමා ගැනම 

                  යන්තරේ හොඳයි ඉඳ කපු කටින්නට 
                  මන්තරේ හොඳයි ඉඳ ජප කරන්න ට 
                  ගින්දරේ හොඳයි සීතට තපින්න     ට 
                  අන්දරේ හොඳයි සීපද කියන්න      ට 

බිරියගේ වියෝවේදී  


                   තන් සොඳ තරුණ සුරතල් කත ලබාලා 
                   උන්නෙමු සතුටු සයුරේ අපි ගිලී       ලා 
                   රන්කඳ නුබේ පස් යටකර  දමා        ලා 
                   මම්වද ගෙට ආවේ දැන් පය නගා     ලා
සටහන: අන්දරේගේ අක්කා දීගගිය බවට සඳහන් වන ගැටමානේ ගම්මානයෙන්ම හමුවූ සුන්දර තරුණියක් අන්දරේ විසින් විවාහ කරගත්  බවත්ඇයදරුප්‍රසුතියකදී අවාසනාවන්ත ලෙස මියගිය බවත් පොත පතේ සඳහන් වේ.

මරණයට පෙර 

                  රිදී කලේ රන්කොතලේ බීපු ම          ට 
                  නිකන් කලේ පැන් නැතිවිය පිපාසෙ  ට 
                  කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි තිබුන ම ට 
                  කෙසේ පසු වෙම්ද පලු වීර ගස් ය       ට 

Related Posts Plugin for WordPress, Blogger...