“මෙම ලංකාද්වීපයෙහි එක් සමයෙකැ බැමිණිතියා
සාය නම් වූ දුර්භික්ෂයක් දොළොස් අවුරුද්දක් පැවැත්තේය.ඒ දොළොස් අවුරුද්ද
මුළුල්ලෙහි මෙම ලංකාද්වීපයෙහි වැසි පොදකුත් නො හෙලීය.එසේ හෙයින් දුර්භික්ෂය
විය.අහර නොලැබීමෙන් උපදෘත වූ මනුෂ්‍යයින්ට රෝග භය විය.
එකලැ ශරීරයෙහි ලෙහෙ මස් සිදී අස්තිචර්මවශේෂ
වූ මනුෂ්‍යයෝ ඉතා දුඃඛිත වූහ.”
[ වත්ථුලපබ්බත වස්තුව - සද්ධර්මාලංකාරය ]
බැමිණිතියා සාය සම්බන්ධයෙන් මහාවංශයේ වැඩි විස්තරයක් සඳහන් නොවේ.නමුත් සද්ධර්මාලංකාරය,සීහළවත්ථුප්පකරණය වැනි ඉපැරණි ග්‍රන්ථ කිහිපයකම මෙම දුර්භික්ෂය ගැන සටහන් වී ඇත.මූලාශ්‍ර වලට අනුව ක්‍රි.පු 104 දී
රාජ්‍යත්වයට පැමිණි වට්ටගාමිණි අභය (වළගම්බා ) රජු ගේ ප්‍රථම රාජ්‍ය කාලයේදී
වර්ෂාව හිඟ වීමෙන්ද දකුණු ඉන්දීය දමිල ආක්‍රමණිකයින් සත් දෙනෙක් සහ තිස්ස (තීය)
නැමති බමුණෙකුගේ කැරැල්ලක් නිසාවෙන්ද අගතියට පත් ලක්දිව වාරි කර්මාන්තය හේතුකොටගෙන
ඇතිවූ දුර්භික්ෂය “බැමිණි + තීය + සාය” හෙවත් “බැමිණිතියා සාය” ලෙසින් හඳුන් වන්නට
ඇත.
මෙම ආක්‍රමණිකයින් හා තිස්ස නම්
කැරලිකරුවා ගැන මහාවංශයේ සිංහල අනුවාදනය මෙසේ සඳහන් කරයි.
[“ තිස්ස නම් දාමරිකයා රාජ්‍ය ඉල්ලා රජු
වෙත ලියුමක් යැවීය.රජතුමා තිස්සට පිළිතුරක් යැවීය.”දැන් රාජ්‍ය තොපගේය.දෙමළුන් මරව”යි
එහි සඳහන් විය.දෙමළුන් හා සටනට ගිය හෙතෙම (තීය) පරාජයට පත්විය.”]
තීය පරාජය කල පසු වළගම්බා රජුද පරාජයකල ද්‍රවිඩයෝ රාජ්‍යය
අලවා ගත්හ.යුද්ධයෙන් පැරද පලාගිය වළගම්බා රජු , එක්තරා
ගිරි නම් නිඝන්ටයෙකුට අයත් ආරාමයක් අසලින්
ගමන් කරද්දී ”මහා කළු සිංහලයා පලා යයි “
යැයි කෑගැසූ ගිරි නිඝන්ටයාත් පලායන කරත්තයේ බර සැහැල්ලු කිරීමට රථයෙන් බැස ගත් වීර
සෝමා දේවියත් පිලිබඳ සිදුවීම් ඔබ දන්නා ප්‍රසිද්ධ
ඉතිහාසයයි.
ද්‍රවිඩ කුමාරයින් වසර දාහතරක් එකිනෙකා
මරාගනිමින් අනුරාධපුරය පාලනය කරන ලදී. බැමිණිතියා සාය අගභාගයේදී නැවත පැමිණෙන
වළගම්බා රජු , දාඨිය නම් අවසාන දෙමළ නායකයා මරා දමා රාජ්‍යය නැවත අලවා ගන්න ලදී.තමාට
අපහාස කර තමා සතුරාට පාවා දෙන්නට තැත් කල ගිරි නිඝන්ටයාගේ ආරාමය විනාශ කරවූ රජු
එහි “අභය ගිරි” නමින් විශාල ආරාමයක් කරවන ලද අතර සෝමා දේවියද නැවත ගෙන්වා නියම
පදවියෙහි පිහිටවූයේය.
මේහා වූ කලී ඉතිහාස කතාවයි. ”බැමිණිතිකාලය” යනු මේ වකවානුව
අලලා අනුරාධ මහ සිංහ නම් රචකයා විසින් නිර්මිත කල්පිත අතුරු නවකතාවකි.මෙහි රචකයා
විසින් කෘතියේ ප්‍රස්තාවේදී එක්තරා වැදගත් කාරණයක් ඉස්මතු කර ඇත.
“වර්තමානය යනු ඉතිහාසයේ දිගුවකි.අනෙක්
අතට වර්තමානය විසින් ඉතිහාසය යලි නිර්මාණය කෙරේ.එබැවින් මේවා අන්‍යොන්‍ය වශයෙන් ම
පවතින සම්මුති සත්‍යයන් වෙයි.ඓතිහාසික නිර්මාණයක යෙදෙන රචකයා මේ කරුණ ගැන සාවධාන ව,වර්තමානයත් ඉතිහාසයත් අතර වූ
සම්මුතීන් අතික්‍රමණය කිරීමට උත්සහ කලයුතු යැයි මම විශ්වාස කරමි.”
යම්කිසි ධර්ම සාකච්ච්ජාවක් සඳහා එක්තරා
දුර්ග මගක් දිගේ මහලු හාමුදුරුවන් වහන්සේ නමක් වැඩමවාගෙන යන කලුහාමි ගේ කරත්තයට
ගොඩවන බරණි, පෝරිසාදයාගේ ලුහුබැඳීමෙන් බේරී පලායාමට කරත්තයෙන් පැනීමත්, ඉන් නොබෝ කලකින්
සාසනය රැක්මට තම රජුන් ගේ රථයෙන් පැන සෝමා දේවිය කල ක්‍රියාවත් ,අතීතය ඊට නොබෝදිනක
වර්තමානයේ නැවත සිදුවීම ගෙනහැර පෑමක් ද? හාමුදුරුවන්ගේ
නිර්වාණය ගැන වූ චිත්තරූපයෙන් කළුහාමි ගේ චේතනාව පිළිබිබු වීමක් සිදුවේද? අවසානයේ පෝරිසාදයාව
වේලංග විසින් යුද්ධය සඳහා යම් අයුරකින් ප්‍රයෝජනට ගැනීමත් හා ඔහු නොමැරීමත් ,අතීතය
හා වර්තමානය අතර සම්මුති අතික්‍රමණය කිරීමට
රචකයා ගත් වෑයමක්ද එසේ නොමැතිනම් අතීතයත් වර්තමානයත් අතර ඇති සමානකමක් රහසේ හුවා
දැක්වීමක්ද යන්න ගැටළු සහගතය.මන්ද යත් අතීතයේ මෙන්ම වර්තමානයේද පොරිසාදයින් ධර්ම
යුද්ධයට යොදවන අවස්ථා සඳහා උදාහරණ අපට දැකගත හැකිනිසවෙනි. සංවාදයට
විවෘතයි...
ප.ලි
සෝමා දේවිය රථයෙන් පැන ගිය අවස්ථාවේ
දුටු සිදුවීමක් ගැන මහාවංශයේ සඳහන් වේ.එනම් එක්තරා සාමණේර නමක් අතින් මාර්ගය වසා
මුත්‍රා කරනු බිසව දුටු බවත් පසුකලක රජු හමුවී එම සිදුවීම රජුට පවසූ විට රජු
විසින් එහි ගල්හෙබකඩ නම් සෑයක් සහ විහාරයක් කරවූ බවය.මෙය සිලාසොබ්භකණ්ඩක /සෝමාරාමය/මනිසෝමාරාමය
/ ලංකාරාමය ලෙසින් හඳුන්වන බවට මතයක් පවතී.
සටහන - බ්ලොග් එකේ ලිපියක් දැම්මේ සෑහෙන කාලෙකින්.අවුරුදු 5කින් වගේ කිව්වොත් හරියටම හරි.අම්මෝ මේකේ තිබ්බ මකුළුදැල් .... :O .දැන් බ්ලොග් කියවන කට්ටිය මේකට ආපු පරණ කස්ටිය තාම ඉන්නවද කියල දන්නේ නෑ.දැක්කොත් පොඩි කොමෙන්ටුවක් දාගෙන යන්න.මේ ලිපිය වෙන කාරණාවකට ලියපු එකක් උනත් ඔන්නඔහේ මේකටත් අතැරලා දැම්මා.
මේ බැමිණිතියා සාය ගැන පොතක් තියෙනවා. කවුඩාගම්මන රතනසාර හාමුදුරුවන්ගේ බැමිණිතියා මහා සාගතය කියලා
ReplyDeleteඉතාමත් හොඳයි තමන්ගෙ දැනුන මේ වගේ බෙදාගන්නවට
ReplyDelete