Saturday, February 23, 2013

අන්දරේගේ සොහොන | Tomb of Andare


එක්තරා දිනයක,ශුෂ්ක කලාපයේ පාලු වූ වැව් ඉස්මත්තකදී  මට හතර ගාතය දමා සිටි අන්දරේ මුණ ගැසින.
        අන්දරේ ගැන අසා නැති කෙනෙකු නැති තරම්ය......එහෙත් ඔබ කෙදිනකවත් අන්දරේගේ සොහාන පිහිටි ස්ථානය ගැන අසා තිබේද.....?  එක්තරා දිනයක,ශුෂ්ක කලාපයේ පාලු වූ වැව් ඉස්මත්තකදී  මට හතර ගාතය දමා සිටි අන්දරේ මුණ ගැසින.ඔහු මිය යන්නට ඇත්තේ කුමක් නිසාද.....? ඔහු පිපාසයෙන් සිටි බවක් පෙනේ....දැන් වැවේ වතුර යන්තමින් හෝ ඇතත් පිපාසයෙන් පීඩිතව සිටි ඔහු මියයන විට එය වියලී තිබෙන්නට ඇත.
           මා අන්දරේගේ සොහොන කරා පැමිණි මාර්ගය තනිකරම දුඹුරු පැහැතිය..යන්තමින් හමන සුළඟකට පවා මුළු පරිසරයම දුහුවිල්ලෙන් නැහැවෙයි. පලු ගස් කිහිපයකින් තැන තැන සෙවන වී ඇතත් සුළග නම් වියලිය...උණුසුම්ය..මාස ගණනකින් මේ පළාතට වැස්සක් වැටී නොමැති සෙයකි.


     හේන්වල සුලබව දක්නට ලැබෙන දඬු වැටකින් වටවුණු කුඩා නිවසක් ඈතින් පෙනේ.නිවස අසල සෙල්ලම් කරමින් සිටි කුඩා ළමයෙකු  මා එහි දොරටුව අසලට එනු දුටු විගසම ගෙතුලට දිව ගියේය.
   
     "අම්මේ ...අන්න කවුද ඇවිල්ලා....."

     "කවුද පුතේ...?"

     ගෙතුලින් තරමක් තරුණ  කාන්තාවක් එලියට ආවාය.

     "අර..අන්දරේගේ සොහොනට යන්නේ මේ පාරෙන්ද....? "


      "ආ...මේපාරේ දිගටම ගියාම වැව හම්බවෙනවා.................

       වැවේ ඉවුර  ගාවම   තමා ඕක තියෙන්නේ..."  

     "හොයාගන්න අමාරු වෙයිද...? "

      "නෑ.....ඉස්සරනම් ඔතන මුකුත් තිබ්බේ නෑ..."

    "පස්සේ ඔය  ඇමති ගොල්ල කට්ටියක් ඔතන හදල බෝඩ් එකකුත් දාල තියෙන්නේ..."     

     "ආ එහෙමද ...බොහොම ස්තුතියි... ගිහින් එන්නම්..."

   පාරදිගේ දිගටම යනවිට වැවක් ලෙස කිවහැකි යමක් මුගැසිණ...නෙළුම් සහ හබරල ගස් වලින් වැසුණු එය පාලුවට ගිය සෙයකි... එවිටම පාරේ මා යන දෙසට පැමිණි ත්‍රීරෝද රථයක් එකවරම මා අසල නැවැත්විය..

    "මහත්තය කොහාටද යන්නේ...?"

    "අන්දරේගේ සොහොන ගාවට...එතනට ගිහින් ආපහු හන්දියට යන්න කීයක් ගන්නවද...? "  

    "පනහක් විතර දෙන්නකො ...." ඔහු ටිකක් කල්පනා කොට කීවේය.

    වෙලාවේ හැටියට පනහක් නොව සීයක් ඉල්ලුවත් පාඩු නැත.

    "හරි යන්.."

   තවත් මොහොතකින් මට වැව් ඉස්මත්තේ සිමින්තියෙන් තනා ඇති අන්දරේ ගේ පිළිරුවක් ද සොහොන යයි කිවහැකි වටකර ඇති යමක්ද පෙනුනි.

    "මෙතන තමා තැන..." 



     "මම ෆොටෝ දෙකතුනක් අරන් එන්නම්..."

    සොහොන අසල මෑතකදී තනන ලද අන්දරේගේ මියගිය ස්වරූපය දක්වන පිළිරුවක් ද රජවාසලේ චිත්‍රයක්ද දක්නට ලැබිණි.

     "ඔය සොහොනේ උඩ කිසිම ගහක් වැවෙන්නේ නෑ..." ත්‍රී විල් කරු  කියයි.

    මමද ඒදෙස විපරමින් බැලුවෙමි...එයමත කුඩා පඳුරු කීපයක් වැවී ඇත.ඔහු මගේ මුහුණේ තිබු අදහස තේරුම්යන්නට ඇත.
     "ඔය පඳුරු තිබ්බට මුලයන ගස් ඔතන හැදෙන්නේ නෑ..." ඔහු නැවතත් කියයි.
    ඔය ගම්මුන්ගේ හැටියකි.විශේෂ සොහොනක් ඇතිවිට එය මත ගස් පැල නොවනබව කියයි.කෙසේ වෙතද මෙහි කුඩා ගසක්වත් දක්නට නොලැබුණි.ඇතැම්විට මෙයට හේතුව මෙහි දමා ඇති කොන්ක්‍රීට් තට්ටුවක් වීමට පුළුවන.

"ඔය පඳුරු තිබ්බට මුලයන ගස් ඔතන හැදෙන්නේ නෑ..." ඔහු නැවතත් කියයි.
  අන්දරේ ගේ සොහොන බැලීමට යාහැකි හොඳම අවස්ථාව ඔබ කතරගම යන විටකදීය.හම්බන්තොටින් තිස්සමහාරාම පාරේ යනවිට හමුවන උඩමලල හන්දියෙන් වමට ඇති පාරේ කිලෝමීටරයක් පමණ ගොස් එහි දකුණු දෙසින් වූ වැව  අයිනදිගේ ඇති   අතුරුමගක ගමන් කිරීමෙන් අන්දරේගේ සොහොන වෙත ලඟාවිය හැක.  
උඩමලල හන්දියෙන් රතු පැහැයෙන් දක්වා ඇති මාර්ගයේ ගමන් කිරීමෙන් අන්දරේගේ සොහොන වෙත ලඟාවිය හැක.

  අන්දරේ යනු හුදෙක් මනඃකල්පිත චරිතයක් නොවේ.18 වන සියවසේ සෙන්කඩගල මහනුවර රාජාධි රාජසිංහ රජු දවස රජවාසලේ සිටි විකටයෙකි,කවියෙකි.අන්දරේ වටා ගෙතුණු කතා රාශියකි.අන්දරේ සීනි කාපු හැටි,ගල උස්සපු හැටි,ගොනාට ඇඳීම,හතරබීරි කතාව,කිරි කෑ හැටි,රබන් පැලීම ඉන් වඩා ප්‍රසිද්ධ කතන්දර ලෙස දැක්විය හැක.මොහු රජවාසලේ සේවය කල වකවානුව ක්‍රි.ව 1781සිට 1798 දක්වා   බවට ඔහුගේ සොහොනේ සටහන්ව පවතී.
   ඔහුගේ උපන්ගම  ලෙස සැලකෙන්නේ මාතර දෙවිනුවර ප්‍රදේශයයි.එය ඔහුගේ පියාගේ උපන්ගම වන අතර ඔහුගේ මවගේ ගම වශයෙන් සඳහන් වන්නේ දික්වැල්ල ග්‍රාමයයි.දිගු කලක් රජ වාසලේ සේවය කල අන්දරේ තම ජීවිතයේ අවසාන භාගයේ, තමන් ඉපදුනු සුන්දර ගම්මානයත් තරුණවියේ ගැටමානේ බිරිඳ සමග ගතකල ජීවිතයත්  සිහිපත් වී තම වයස්ගත බවද,රෝගී බවද නොසලකා එහි යාමට තීරණය කල අතර, ගමනේ අතරමගදී ඉහත සඳහන් උඩමලල වැව ඉස්මත්තයේ පිපාසයෙන් මියගිය බවටඉතිහාසයේ සඳහන් වේ.

    ලිපිය අවසාන කරන්නට පෙර අන්දරේ විසින් කියන ලද කවි කිහිපයක් මෙසේ සටහන් කර තබමි.  

රජ බිසව ගැන රජුට කී කවියක්


                 බොහොම හොඳට රන්කම්කල වැඩක් වගෙ යි
                 දේවතුමට මහබඹු දුන් ලියක් වගෙ               යි 
                 ලෝකේ ඉන්න පඬිහට පිස්සුවක් වගෙ         යි 
                 කොහොඹ ගහට කරවිල වැල ගියා වගෙ      යි 

පෙම්වතියට          
  
         කොළඹ කළුතර අලුත් ගන්තර මුනේ මාතර ගාල්ලේව       ත් 
         සපරගමු පුත්තලම උඩරට කොට්ටියරම් තොට මුනේ ව      ත් 
         සතර සත් කෝරලේ ඇතුළුව මෙවැනි මැදි හත්පත්තුවේ ව  ත් 
         නුබ සේ ලස්සන කතක් නුදුටිමි සතර වාසල් කොන් අටේ වත් 

තමා ගැනම 

                  යන්තරේ හොඳයි ඉඳ කපු කටින්නට 
                  මන්තරේ හොඳයි ඉඳ ජප කරන්න ට 
                  ගින්දරේ හොඳයි සීතට තපින්න     ට 
                  අන්දරේ හොඳයි සීපද කියන්න      ට 

බිරියගේ වියෝවේදී  


                   තන් සොඳ තරුණ සුරතල් කත ලබාලා 
                   උන්නෙමු සතුටු සයුරේ අපි ගිලී       ලා 
                   රන්කඳ නුබේ පස් යටකර  දමා        ලා 
                   මම්වද ගෙට ආවේ දැන් පය නගා     ලා
සටහන: අන්දරේගේ අක්කා දීගගිය බවට සඳහන් වන ගැටමානේ ගම්මානයෙන්ම හමුවූ සුන්දර තරුණියක් අන්දරේ විසින් විවාහ කරගත්  බවත්ඇයදරුප්‍රසුතියකදී අවාසනාවන්ත ලෙස මියගිය බවත් පොත පතේ සඳහන් වේ.

මරණයට පෙර 

                  රිදී කලේ රන්කොතලේ බීපු ම          ට 
                  නිකන් කලේ පැන් නැතිවිය පිපාසෙ  ට 
                  කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි තිබුන ම ට 
                  කෙසේ පසු වෙම්ද පලු වීර ගස් ය       ට 

Sunday, February 17, 2013

වන නිවහන (ෆිෂින් හට්ස්) | Fishing huts - Sripada via Rajamale


වන නිවහන 

        කඳුකර වැසිවනාන්තරයෙන්  පෝෂණය වන වනනදිය, ඇතැම් විට ගල්පර අතරින් රැළිති නංවමින්ද තරමක් ගැඹුරු තැන්වල ඉතා නිහඬවද ගලාබසී.හිරුරැස් ගඟ මත පතිතව, එහි දිය රැළිති වල සෙවනැලි ගං පතුලේ ඇති තැඹිලි පැහැති ගල්කැට මත සියුම් වූත් සුන්දර වූත් රටාවන් මවාලයි.සුළඟ එතරම් රළු නොවුනද,තුරුමත ඉදුණු, කහ පැහැති පත්‍රයක් දෙකක් නදිය මත පතිත කරවන්ට තරම් එය පොහොසත්ය.

         ඉහත කී වන නදිය අසබඩ දැවයෙන් කල කුඩා නිවසකි.මෙය වූ කලී වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම වන නිවහනකි.බිත්ති, වහලය සහ  කවුළු පමණක් නොව එහි වූ සෑම කුඩා අංගයක්ම සාදා ඇත්තේ අවට වනයෙන් සපයාගෙන ඇති ලී දඬු එකට පිරිද්දීමෙනි.නේකවර්ණවූ කුරුල්ලන්ගේ නාදයත් දිය රැලි නගන හඬත් හැර වෙනත් කිසිදු ශබ්දයක් මෙහි සිටින්නන්ට නෑසෙනු ඇත.මෙහි එක් පසකින් බැලුවිට පෙනෙන්නේ නිල අහස තෙක් පැතිරුණු ලාකොළ පැහැයෙන් දිදුලන මරේ තේ වතුයායයි.ඊට සැතපුම් කීපයක් එපිටින් සුදු පැහැති වලාවන් සිපගනිමින් වැජබෙන  සිරිපා කඳු මුදුන දැකගත හැකිය.අනෙක් පසින් ඇත්තේ සුන්දර බත්තුළු ඔයත් ඉන් එපිට අක්කර දහස් ගණනක් පැතිර ඇති සමනල කන්ද වැසිවනාන්තරයත්ය.
හිරුරැස් ගඟ මත පතිතව, එහි දිය රැළිති වල සෙවනැලි ගං පතුලේ ඇති තැඹිලි පැහැති ගල්කැට මත සියුම් වූත් සුන්දර වූත් රටාවන් මවාලයි 

ශ්‍රී පාදය 

      උණුසුම් හිරුරැස් ඇති දිනයක මම, වන නිවහන පිහිටි ඉවුරේ සිට අනෙක් ඉවුර දක්වා පිහිනා ගියෙමි...නදිය හරහා යාම එතරම් අපහසු කටයුත්තක් නොවේ.නමුත් මෙහි ජලය කෙතරම් පැහැදිලිද කිවහොත් අඩි යක් විස්සක් තරම් ගැඹුරු තැන් වුවද අපට පෙනුනේ අඩි කිහිපයක් පමණක් ගැඹුරු ස්ථාන ලෙසිනි...ගං දිය තරමක් සීතල නිසා පළමු දිනයේදී අපට වැඩි වේලාවක් දිය නෑම සිදුකල නොහැකි විය...සීතල මගහරින්නට වන නිවහනින් ලැබුණු උණුසුම් දිවා ආහාරය නම් ප්‍රනීතය....


උණුසුම් හිරුරැස් ඇති දිනයක මම, වන නිවහන පිහිටි ඉවුරේ සිට අනෙක් ඉවුර දක්වා පිහිනා ගියෙමි.

      දිවා ආහාරයෙන් පසු මගේ මිත්‍රයින්  සූදානම් වූයේ තවත් වික්‍රමයකටය. එනම් වන මැද සැඟවුණු බත්තුළු ඔයේ දිය ඇල්ලක් සොයා යාමටය..මේ සඳහා ගඟ දියේ ඉහත්තාවට පැය එකහමාරක් පමණ ගමන් කල යුතුය....ගඟ දිගේ ගමන ඉතා දුෂ්කර කටයුත්තකි...එක්ව සැදුනු ලොකු කුඩා ගස් වැල් නිසා අපට වනය හරහා ගමන් කල නොහැකි බැවින් එකම විකල්පය වූයේ ගඟ මත වූ ගල් කුළු මතින් ඉදිරියට යාමයි...නොගැඹුරු තැන් වලදී  ගඟ මැදින් ගමන් කල අපි ඇතැම් ස්ථාන වලදී ගංඉවුරේ ගල් කුළු මතින් ඇවිද ගියෙමු...ඉවුර මත වූ ගල්කුළු බොහොමයක් පාසි බැඳීම නිසා ඉතා ලිස්සන සුළුය.කැමරාවක්ද රැගෙන ගමන් කල නිසා මගේ ගමන සිදු වූයේ අන් අයට වඩා සෙමිනි...වරක් පාසි බැඳුනු ගලක් මතුපිටින් යන විට පය ලිස්සීමෙන් මගේ සමබරතාවය ගිලිහී ගිය අතර කැමරාව පසකට විසිවී ගියේය...ගල දිගේ ලිස්සා ගොස් මගේ වම් වැලමිට තදින් යමක වැදුන මුත් එකවරම අනෙක් අත අසල වූ ගල් නෙරුවක සිරකර ගැනීමට හැකිවූ නිසා හානිය අවම කර ගැනීමට හැකි විය.
      කුඩා දියඇලි කිහිපයක් හමුවීමෙන් පසු අපි ගඟ දෙකට බෙදෙන ස්ථානයකට ලඟාවීමු.මෙම ස්ථානයට සිරිපා මලුව වඩා පැහැදිලිව පෙනේ..මින් කුඩා දිය පාර සිරිපා කන්ද ඔස්සේ ගලන බවක් පෙනුණු අතර  අප සොයා යන ඇල්ල තරමක් විශාල නිසා, ජල ප්‍රමාණය වැඩි, වම පසින් වූ දියපාර දිගේ ගමන්කිරීමට අපි තීරණය කළෙමු.


ගඟ දිගේ 
        කොතරම් ඉදිරියට ගියද ඇල්ලක සේයාවක්වත් වත් නැත...කරුවල වැටෙන්නටද ආසන්නය.සැබවින්ම අප තෝරාගත්තේ නිවැරදි මාර්ගයද ....? මංසන්දියේදී හමුවූ,සිරිපා කන්ද ඔස්සේ ගලන දියපාර තරමක් කුඩා වුවද ඉන් දිය ඇල්ලක් ඇතිවිය නොහැකිද....? මෙවන් දෑ කල්පනා කරමින් අපි ගඟ දිගේ තවත් වංගුවක් පසු කළෙමු....

     මේවනවිට අප සිටියේ ගංගාවේ දකුණු පසිනි.තවත් කුඩා ඇල්ලක් අපේ නෙතු ගැටේ....එය අපට පෙර හමුවූ දියඇලි වලට වඩා තරමක් විශාල වුවද එහි උස අඩි දහයක් පමණ විය....අසා තිබු විස්තරයට අනුව අප සොයා ආ ඇල්ල මෙය විය නොහැක.....
     චායාරුපයක් ගැනීමට ගඟේ අනෙක් පසට ගිය විට එකවරම අප සොයා පැමිණි දේ පැහැදිලිව පෙනිණි. ...අඩි පනහක් පමණ උස්වූ තරමක් විශාල ප්‍රමාණයේ දියඇල්ල මෙතෙක් වෙලා අපට නොපෙනුනේ ගඟ දෙපස වූ ගල්කුළු නිසාවෙනි....මෙහි නියම නම හෝ නිවැරදි උස හරිහැටි නොදන්නා මුත් එය සුන්දර බවින් නම් අඩුවක් නැත....ගමනේ අපහසුම අංගය වුයේ ඇල්ල පාමුලට යාමයි...යන්තමින් හෝ පය ලිස්සා ගියහොත් නතර වෙන්නේ කුඩා ඇල්ලේ තටාකයෙහිය..අවසානයේ ගංඉවුරට නැමුණු ගස් අතු වල එල්ලී,තරමක අවදානම් ගමනකින්  පසු අපට ඇල්ලේ පාමුලට ළඟාවීමට හැකිවිය.


අවසානයේ ගංඉවුරට නැමුණු ගස් අතු වල එල්ලී,තරමක අවදානම් ගමනකින්  පසු අපට ඇල්ලේ පාමුලට ළඟාවීමට හැකිවිය

        අප නැවත වන නිවහන කරා එනවිට කරුවල වැටී තිබින...තේ වත්තත් යුකැලිප්ටස් වනාන්තරයත් අතරින් සිරිපා මළුවේ ආලෝකයත් එහි ගමන් මාර්ගයත් යන්තමින් පෙනේ.හෙට උදයේම සිරිපා කරුණා කලයුතුය...මෙවර සිරිපා වන්දනාවට අප තෝරාගත්තේ මරේ වතුයායෙන් පටන්ගන්නා රජමලේ මාර්ගයයි.විදුලි ආලෝකය නොමැති බැවින් අප යායුතුව තිබුනේ දහවල් කාලයේදීය...




   වන නිවහනේ රාත්‍රිය නිහඩය..විචිත්‍රය..සීතල නිසා අපි නදිය අසබඩ ගිනිමැලයක් දල්වාගත්තෙමු.නදියේ ගෝෂාව පරයා විවිධ සතුන්ගේ සිහින් නාදයන් එකදිගට ඇසේ.ගංඉවුර අසල දැවයෙන් තනා ඇති අසුනකට බරවූ මම වනය තුලින් ඇසෙන විවිධ ශබ්දයන් හඳුනාගන්නට තැත් කිරීමි..ගමන් වෙහෙසත් නදියේ ගීතයත් නිසා මැදියමට පෙර මට නින්ද යන්නට ඇත.





උදැසනම අපි ගඟේ ස්නානය කළෙමු.කලාතුරකින් දක්නට ලැබෙන කැහිබෙල්ලන් රංචුවක්ද ගල් කුළු මතින් පැනයන වලිකුකුලෙක්ද තවත් නම් නොදන්නා පක්ෂීන්  කිහිපදෙනෙක්ද අපේ ඇසට හසුවිය.උදැසන කාලයට අප මෙන්ම වනාන්තරයද ගඟදියද වඩා ප්‍රබෝධමත් බවකින් යුක්තබැව් මට සිතේ.


දහවල් දහය පමණ වනවිට සිහින් පොද වැස්සක් වැටෙන්නට විය...වැහිබින්දු නදිය මත වැටී ගංපතුලේ දර්ශන අපැහැදිලි විය...වැස්ස පායනතුරු සිටි අපි වන නිවහනට ආයුබෝවන් කියා සිරිපා කරුණා කරන්නට මරේ වත්ත කෙලවරකින් වනාන්තරයට පිවිසීමු...
වැස්සට පසු 



බත්තුළු ඔය 



         රජමලේ මාර්ගය සිරිපා මළුවට ඇති කෙටි මගකි.බොහෝවිට  මළුවට බඩු ගෙනයන්නන් භාවිතා කරන්නේ මේ මාර්ගයයි.නොනැවතී ගමන් කළහොත් පැය දෙක හමාරකින් පමණ මහගිරිදඹට ළඟාවිය හැක...කැලෑ මග අතරදී කූඩැල්ලන් අපට විටින් විට කරදරකලද එය අපේ ගමනට එතරම් බාධාවක් නොවිනි.


 රජමලේ (සඳගල තැන්න) මාර්ගය
      සිරිපා වන්දනාවෙන් පසු රාත්‍රිය සිරිපාමලුව තුල ගතකල අපට උදැසන ඉර සේවය බැලීමට නොහැකි වුයේ අධික මීදුම නිසාවෙනි.උදැසන 7.30 පමණ වනවිටද මීදුම පහව නොගිය හෙයින් මිහිදුමෙන් මතුවී පෙනෙන අඩවිකන්ද,කුණුදිය පර්වතය ඇතුළු අවට කඳුවැටි වල මනස්කාන්ත දර්ශනයන් කිහිපයක් අපට මගහැරිනි.අප උදැසනම නල්ලතන්නි මාර්ගයෙන් පහලට කරුණා කරන්නට පටන්ගත්තේ දහවල් හැටන් වලින් කොළඹ දක්වා යන දුම්රිය අල්ලා ගැනීමේ බලාපොරොත්තුවෙනි.


රජමලේ මාර්ගය අතරමගදී 



අපේ නඩේ




නල්ලතන්නිය-හැටන්මාර්ගයේ මුල්ගම හන්දියේ සිට ෆිෂින් හට්ස් දක්වා ඇති මාර්ගය  කොළ  පැහයෙන්ද මරේ වත්තේ සිට ඇති රජමලේ මාවත රතු  පැහැයෙන්ද දක්වා ඇත.


සටහන :  
  • වන නිවහනේ නැවතීමටනම් 052–4920870 අංකය අමතා මස්කෙළිය වතුයායේ කාර්යාලයෙන්  අවසර ගෙන දින වෙන්කිරීමක් කරගත   යුතුය.
  • දැනට පවතින පහසුකම් අනුව අටදෙනෙකුට නැවතිය හැකි වන නිවහනක්ද හය දෙනෙකුට නැවතිය හැකි නිවහන් දෙකක්ද ෆිෂින් හට්ස් තුල පවතී.
  • ගමන් මාර්ගය - හැටන් > මුල්ගම හන්දිය (නල්ලතන්නිය මාර්ගය)> ෆිෂින් හට්ස් මාර්ගය (මෙහි කිලෝමීටර් 8ක් පමණ ගමන්කලයුතුය.බස්රථ නොමැති වුවත් පොදු ප්‍රවාහනය සිදුකරන වෑන් රථ වල හෝ ත්‍රීරෝද රථ මගින් ෆිෂින් හට්ස් දක්වා ගමන් කල හැක.)

Sunday, February 3, 2013

නිදහස සොයා අලගල්ලට | Alagalla mountain



     " අප දැන් සිටින්නේ මුහුදු මට්ටමින් අඩි හාරදහසක් පමණ ඉහළන්වූ අලගල්ල කදු මුදුනතෙහිය.....
මානා පඳුරු පිසගෙන හමන සුළං හඬ අතරින් අපට එකවරම දුම්රියක හූ හඬක් ඇසේ...නිල්වන් වනපෙතත් ක්ෂිතිජය තෙක් පැතිරුණු කදුවැටිත් හැරෙන්නට දුම්රියක සේයාවක් වත් පෙනෙන්නට නැත...."අන්න...කෝච්චිය...! "මගේ මිත්‍රයා  එකවරම කී විට මමද ඔහු විපරමෙන් බලන දිශාව වෙත නෙත් හැරවීමි.මහනුවර දිශාවේ සිට පුංචි පනුවෙකු මෙන් සෙමින් සෙමින්  ඇදෙන දුම්රිය මට සිහිගන්වුයේ මෙරට ඉංග්‍රීසි පාලන සමයයි..දුම්රිය යනු ඉංග්‍රීසි පාලන සමයේ සැබෑ නෂ්ටාවශේෂයක් නොවන්නේද....සැබවින්ම අප 48 දී නිදහස ලැබුවාද යන්න තර්ක කරනු වෙනුවට මම නැවතත් ක්ෂිතිජය තෙක් පැතිරුණු කදුවැටි දෙස නෙත් හරවා අලගල්ල අවට ප්‍රදේශවාසින් පෙබරවාරි හතරවෙනිදා අලගල්ල කදු මුදුනේදී දකින නිදහස සොයන්නට උත්සුක වීමි... "

"අන්න කෝච්චිය...! "

           අපි ගමන පටන් ගත්තේ ගම්පහ දුම්රිය ස්ථානයෙන්.කෝච්චියට නගිනකොට උදේ 6.30ට විතර ඇති..පොල්ගහවෙලට යනකන් දුම්රිය ස්ථාන 2 3 කට වඩා නැවැත්තුවේ නැති උනත් අපේ වාසනාවකට වගේ එච්චර ප්‍රසිද්ද නැති ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානයේ නම් අපිට බහින්නම කියල වගේ නැවැත්තුවා...!
               අපි මේ යන්නේ අලගල්ල කන්ද නගින්න....මොකක්ද මේ අලගල්ල කන්දේ තියෙන විශේෂත්වය..? අහලතියන විදිහට නම් කතාව මේකයි...1948 පෙබරවාරි 4  සුද්දෝ ලංකාවට නිදහස දෙනව කියල ආරංචි උනාම, මොකක්ද ඔය හම්බවෙන නිදහස කියන එක බලන්න ප්‍රදේශවාසියෝ අලගල්ල කියන කන්දට නැගල බලාගෙන ඉදල තියනවලු..තාමත් ඔයපැත්තේ අය පුරුද්දකට වගේ පෙබරවාරි 4 වෙනිදට අලගල්ල නගිනවා කියල තමා අහන්න ලැබුනෙ.....

අලගල්ල කන්ද ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානයට පෙනෙන්නේ මෙහෙමයි
 
           ඉහල කෝට්ටේ දුම්රිය පොලේ ඉදන් අලගල්ල කන්දට යනවනම් මුලින්ම අලගල්ල තේ කර්මාන්ත ශාලාව ලඟට යන්න ඕන.(පාර හොයාගන්න අමාරුයි වගේ නම් ස්ටේශන් එකේ ඉන්න කෙනෙක් ගෙන් හරි ගමේ කාගෙන් හරි ඇහුවොත් හරියටම පෙන්නයි...) තේ කර්මාන්ත ශාලාවට දුම්රිය පොලේ ඉදන් කිලෝමීටර් 3ක් විතර තියනවා.ඔය අතර මගදී  අපිට හම්බඋනා දෙකිද ඇල්ල කියල ලස්සන දිය ඇල්ලක්.... තේ කර්මාන්ත ශාලාව ගාවින් පටන් අරගෙන තේ වත්ත හරහා යන පාරේ දිගටම යනකොට එක තැනකදී  කැලෙට ඇතුළුවෙන්න තියන පොඩි අඩි පාරකින්  තමයි හරියටම කන්ද නගින්න පටන් ගැනුනේ...

දෙකිද ඇල්ල

       කැලේ මැදින් තියන අඩිපාර කාලෙකින් සුද්ද කරලා නැති හින්ද ගමන ටිකක් අමාරු උනා..ඔහොම යනකොට එකපාරටම කැලේ නැතිවෙලා මාන පඳුරු බිමක් හම්බ උනා...මේකට හේතුව උඩින් තියන පස් තට්ටුවට යටින් කළු ගල කියල තමයි හිතෙන්නේ...ඒවගේ තැනක ලොකු ගස් වැවෙන්න විදියක් නෑ...


අලගල්ල තේ වත්ත

            පඳුරු අස්සෙන් යන එකත් ලේසි වැඩක් නෙමේ...කොහොමින් කොහොම හරි කන්ද මුදුනේ තියන කළුගල ගාවට එනකොට දවල් 11.30 ට විතර ඇති....පොඩි අවධානමකුත් අරගෙන කන්ද මුදුනෙ තියන සිංහ කටින් උඩට නැගගත්තහම තමා තේරුනේ මේකට අලගල්ල කියන්නේ ඇයි කියල....


සිංහ කට 

අලට කන්න බැරි අලගල්ලේ කන්ද..:) මේ කවියේ ඉතුරු පද තුන අහල තියනව නේද ....?

 

 
මේ තියෙන්නේ කන්ද මුදුනේ තියන පළාත් මායිම් ලකුණක් ...මේ එක කකුලක් තියෙන්නේ සබරගමුවේ...අනිත් එක මධ්‍යම පළාතේ...:)

බතලේගල , ඌරා ගල සහ සරදියල්ගේ උතුවන්කන්ද

අලගල්ල කදු මුදුනේදී අපිට මාවනැල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ කඳු කීපයක් දකින්න ලැබුන..උතුවන්කන්දත් බතලේ ගලත් ඒඅතර ප්‍රධානයි...කන්ද නගිනවානම් වැස්ස නැති කාලෙක යන එක තමා නුවණට හුරු.

Related Posts Plugin for WordPress, Blogger...